ගෙදර ඉඳන් ජොබ් කරන අයට වැඩ ලේසියටත්, කොලිටියටත්, කාර්යක්ෂමවත් කරගන්න වටිනා උපදෙස්

නවීන තාක්ෂණය සහ සන්නිවේදන ක්‍රම වල දියුණුවත් එක්ක මේ වෙද්දි ගෙදර ඉඳන් රැකියා කරන පිරිස සෑහෙන ගුණයකින් ඉහල ගිහින් තියනවා. ඔෆිස් එකක ජොබ් එකක් කරනවට වඩා වියහියදම් අඩුවීම, තමන්ට පහසු කාලවේලාවන් වලදී වැඩ කරන්න තියන හැකියාව වගේ කාරණාත් එක්ක ගත්තහම ගෙදර ඉඳන් රස්සාවක් කරන එක ලේසියි කියල හිතෙන්න පුලුවන්. හැබැයි එහෙම උනාට වැඩේ හිතන තරම් ලේසි නෑ. ගෙදර ඉඳන් රැකියාව කරද්දි එල්ල වෙන්න පුලුවන් බාහිර බාධාවන් වැඩියි. ඒ වගේම අපේ වැඩකටයුතු හරිහැටි කළමනාකරණය
කරගත්තෙ නැත්නම් ඕනෑවටත් වඩා වැඩට මහන්සි වෙලා, පෞද්ගලික ජීවිතේ නිදහස පවා නැතිවෙන්න පුලුවන් ගෙදර ඉඳන් වැඩ කරන එකෙන්.

අන්න ඒ නිසා අපි අද කියන්න යන්නෙ ගෙදර ඉඳන් රැකියාව කරන කෙනෙක්ට සෑහෙන්න වැදගත් වෙන්න පුළුවන් කරුණු ටිකක්. හරියටම කිවුවොත් ගෙදර ඉඳන් රැකියා කරන අයගෙ වැඩ කාර්යක්ෂමව, පිළිවෙලට සහ පහසුවෙන් කරගන්න උදවුවෙන උපදෙස් ටිකක් තමයි මේ දෙන්න යන්නෙ.

1. කාල වේලාව හරියට වෙන්කරගන්න

ගෙදර ඉඳන් රැකියාව කලත් නියමිත කාල වේලාවන් වලට යෙදෙන්න සහ භාරදෙන්න ඕනෙ වැඩ තියෙන්න පුලුවන් තමයි. එහෙම උනත් ගෙදර ඉඳන් වැඩ කිරීමේදී බහුතරයක් වැඩ නිදහස් කාලවේලාවන් තෝරගෙන කිරීමේ වාසිය අපිට හිමිවෙනවා. හැබැයි හුඟදෙනෙක් මේ කියන වාසියම තමන්ගෙ අවාසිය කරගන්නවා. ඒ අය කරන්නෙ ගෙදරදොරේ නොයෙකුත් දිනපතා වැඩ නිම කරන අතරේම රැකියා කටයුතු වලත් නිරත වෙන එක. ඒක එච්චර හොඳ ක්‍රමවේදයක් නෙමෙයි. ඔෆිස් එකකදී වගේ 8-5 වැඩ කරන්න ඕනෙ නැති වුණත් ගෙදරදී වැඩ කරද්දිත් වැඩ කරන්න නියමිත පැය ගණනක් හදාගන්න ඕනෙ. ඒක දවල්ද, පාන්දරද, රාත්‍රියෙද කියන එක අදාල නැහැ. තමන්ට වඩාත් පහසුවෙන් වැඩ කරන්න පුලුවන් වෙලාවක් තෝරගන්න එකයි තියෙන්නෙ. අන්න ඒ විදිහට තෝරාගත් කාලසීමාව ඇතුළතදි තමන්ගෙ රැකියා කටයුතු වලට පූර්ණ අවධානය දීල වැඩ කරන එකයි කරන්න ඕන. නැතිනම් සැරින් සැරේ ගෙදර වැඩත් එක්ක මාරුවෙන් මාරුවට රැකියා වැඩ කරන්න ගියොත් උදේ ඉඳන් රෑ වෙනකම් දවස පුරාම රස්සාව කරන්න වෙයි. ඒකෙන් ඔයාට වැඩිපුර මහන්සි වෙන්න සිද්ධ වෙන්නත්, පෞද්ගලික ජීවිතේ නිදහස සීමා වෙන්නත් ඉඩ තියනව.

2. බාහිර බාධා අවම කරගන්න

මෙන්න මේක තමයි ගෙදර ඉඳන් වැඩ කිරීමේදී එල්ල වෙන ලොකුම බාධකය. තවමත් අපේ රටේ වැඩි දෙනෙක් ගෙදර ඉඳන් කරන රැකියාවක් එච්චර සීරියස් විදිහට සලකන්නේ නැහැ. සමහරවිට තමන්ගේම ගෙදර උදවිය උනත් එහෙමයි. ඒ නිසා තමන් රැකියා කරන කාලසීමාව ඇතුලතදි අත්‍යාවශ්‍යම අවස්ථාවලදි හැර තමන්ට බාධා කරන්න එපාය කියල ඒ අයව දැනුවත් කරන්න වගබලාගන්න ඕනෙ. තමන් වැඩ කරන කාලවේලාව ගැන ඒ අයව දැනුවත් කරන්න ඕනෙ. මේ කාරණය ගැන ඥාතීන් හිතුවතුන් සහ නිතර ගෙදරට ගොඩවදින අමුත්තන්වත් දැනුවත් කරල තියන එක වටිනවා. “මෙන්න මේ දවස්වල මේ මේ වෙලාවල් වලට නම් මට හෙල්ලෙන්නවත් විදිහක් නෑ” කියල ඒ අයට කියල තියන එක වැදගත්. එතකොට අමතකවීමකින් හරි වැඩ අතරේ ඒ අයගෙන් බාධාවක් ඇතිවුණත් කල්තියාම ඔයාගෙ රැකියා වැඩකටයුතු ගැන ඒ අයට කියල තියන නිසා ඒ ගැන මතක් කරල බාධාව ඉවත්කරගන්න පුලුවන්.

3. වැඩකරන තැන හදාගන්න

ගෙදර ඉඳන් වැඩ කරද්දි මොන බාධාවල්ද? ඇඳ උඩ ඉඳන් හරි, ටීවී බලන ගමන් හරි උනත් වැඩ කරන්න බැරි නෑනෙ නේද? හැබැයි ඒ වැඩේ අපි එච්චර අනුමත කරන්නේ නම් නැහැ. හොඳම දේ තමයි තමන්ට වැඩ කරන්න වෙනමම ස්ථානයක් හදාගන්න එක. ගේ ඇතුලේ කාමරයක් ඔෆිස් රූම් එකක් බවට පරිවර්තනය කරගන්න එක හොඳ උනත් එහෙම කරන්නම අවශ්‍ය නැහැ. හැබැයි හැමදාම වැඩ කරන්න එකම තැනක් යොදාගන්න එකයි වැදගත්. පරිගණකයෙන් වැඩ කරන කෙනෙක්නම් තමන්ගෙ කම්පියුටර් ටේබල් එක උනත් මේ විදිහට සකසාගන්න පුලුවන්. මෙතැනදී සුව පහසුවට මුල් තැන දෙන එකත් වටිනවා. සැපපහසු පුටුවක්, වැඩ කරද්දි අවශ්‍ය වෙන දේවල් පිළිවෙලට සකසාගත්ත ඩෙස්ක් එකක් එහෙම අනිවා තියෙන්න ඕනෙ. ඒ වගේම ගොඩක් දෙනෙක් වැඩිපුර නොහිතන කාරණයක් තමයි පණ ඇද ඇද වැඩකරන පරිගණක සහ ඉබි ගමනින් යන අන්තර්ජාල සම්බන්ධතා භාවිතය. අන්තර්ජාල සම්බන්ධතාවය සහ පරිගණකය ඔබේ වැඩ කාර්යක්ෂමව කරගන්න පුලුවන් තරම් යහපත් මට්ටමක තියන එක අනිවා වැදගත්.

4. දවසේ වැඩ ප්ලෑන් කරගන්න

තමන් වැඩ කරන කාමරේට ගිහින් අතට අහුවෙන වැඩක් පටන් අරගෙන කරගෙන කරගෙන යන එක නෙමෙයි ක්‍රමය. ඒ දේවල් වලට පිළිවෙලක් හදාගන්න එක අනිවා කරන්න ඕනෙ. එදිනෙදා කරන්න ඕනෙ වැඩ ලැයිස්තුවක් හදාගන්න එක මෙතැනදී ඉතාම වැදගත්. දවසේ යම් යම් වේලාවල් වලදී කරන්න ඕනෙ වැඩ, ඉක්මනින් භාර දෙන්න ඕනෙ වැඩ වගේ දේවල් නියමිත වේලාවන්ට අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලකට සකස්කරගන්න ඕනෙ. නෝට් පෑඩ් එකකින් හරියට වැඩගන්නෙ කොහොමද? කියන අපේ ලිපියෙන් මේ ගැන තවදුරටත් දැනුවත් වෙන්න ඔයාට පුලුවන් වේවි. දවසේ වැඩ ප්ලෑන් කරද්දි රැකියාවට අදාල නොවෙන එදිනෙදා ගෙදර වැඩ ඒවත් එක්ක පටලවා නොගන්නත් පරිස්සම් වෙන්න ඕනෙ. දැන් ඔය අත්‍යාවශ්‍ය බඩුවක් මුට්ටුවක් ගන්න, වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්න, මංගල සහ අවමංගලෝත්සව වලට සහභාගි වෙන්න වගේ මගහරින්න බැරි වැඩ අපිට වැටෙන්න පුලුවන්. අන්න ඒ වගේ අවස්ථා ගැනත් කල්පනා කරල, කලින්ම ඒව ගැන සටහන් තියාගෙන තමන්ගෙ එදිනෙදා වැඩ කාලසටහන හරිගස්සවාගන්න මතක තියාගන්න ඕනෙ. මේ වගේ නොවැළැක්විය හැකි ගමන් බිමන් තමන් වැඩ කරන කාල සීමාවෙන් එපිට වෙලාවක යොදාගැනීම හරි, ඒවාට ගතවන කාල වේලාවන් අනුව අපේ දවසේ වැඩ කරන කාල සීමාව එහා මෙහා කරගැනීම හරි පිළිවෙලකට වෙන්න ඕනෙ.

5. පිළිවෙලට වැඩ පටන්ගන්න

උදේ නැගිට්ට ගමන් කුණුකෙළ පෙරාගෙන, නිදන ඇඳුම් පිටින් ගිහින් කම්පියුටරෙන් හරි වැඩ කරන ඩෙස්ක් එකෙන් හරි වාඩිවෙන පුරුද්ද තියනවනම් ඒකත් අත්හැරගන්න එක හොඳයි. ව්‍යායාම පාරක් දානවනම් දාගෙන, දතකට මැදගෙන, හොඳ ආහාර වේලක් අරගෙනම වැඩට වාඩිවෙන එක තමයි සුදුසුම. ඔෆිස් යනව වගේ සූට් බූට් දාගන්න ඕනෙ නැතත් ටිකක් පිළිවෙලට පිරිසිදු ඇඳුමක් ඇඳගෙන වැඩ කරන්න වාඩිවෙන එකෙන් අමුතුම ජවයක්, ගැම්මක් එනව කියල තමයි මේ ගැන විශාරදයන්ගෙ පිළිගැනීම. මෙහෙම සූදානමක් වෙන එකෙන් අපිට ඉක්මනින් වැඩ කරන මූඩ් එකට වැටෙන්නත් හැකිවෙනවා.

6. රැකියා ස්ථානය සහ කාර්යාලීය සඟයො එක්ක එක්ක ටච් එකේ ඉන්න

ගෙදර ඉඳන් වැඩ කලාට මොකද ගොඩක් වෙලාවට අපිට අපේ බොස් එක්ක සහ අනෙකුත් එකට වැඩකරන සගයො එක්ක සම්බන්ධතාවය තියාගන්න වෙනවනෙ. මේ සම්බන්ධතා පවත්වගන්න උපයෝගී කරගන්න මාධ්‍ය විවෘතව තියාගන්න එක වැදගත්. ඒ කිවුවෙ ෆෝන් ඕෆ් කරගන්නෙ නැතිව, කාර්යාලීය වැඩ ගැන සාකච්ඡා කරන්න, පණිඩුව හුවමාරු කරගන්න යොදාගන්නා මාධ්‍යයන් වල හැකි හැමවිටම සක්‍රීයව රැඳී ඉන්න එක වැදගත්. එකම තැනක ඉඳන් වැඩ නොකරන එකෙන් පොඩ්ඩක් පාළු හැඟීමක් වගේ දෙයක් ඇති වෙන්න පුලුවන්. අන්න ඒ නිසා එකට වැඩ කරන සඟයො එක්ක හොඳින් සම්බන්ධතා තියාගෙන, වැඩ ගැන සාකච්ඡා කරල හොඳ ටීම් එෆර්ට් එකකින් වැඩේ ගොඩදාගන්න මහන්සි වෙන එක වැදගත්. තමන්ට හිතට අල්ලන, වැඩට හොර නැති සඟයො පිරිසක් එක්කනම් වැඩ කරන්නේ ඉඳලා හිටලා පොඩි සෙට්වීමක් දෙකක් දාගෙන රැකියාවෙන් පිට හිතවත්කම් එහෙමත් වර්ධනය කරගත්තට අවුලක් වෙන එකක් නෑ.

7. විවේකයත් අනිවා ලබාගන්න

ගෙදර ඉඳන් වැඩ කරද්දි බොහෝ වෙලාවට අපි පමණටත් වඩා වැඩ කරන්න යොමුවෙන්න පුලුවන්. කෑම බීම අතපසු කරගන්න පුලුවන්. සමහරවිට හෙට වැඩ ටිකක් අඩුකරගන්න කියලා අද වැඩිපුර වැඩ කරන්න හිතෙන්නත් පුලුවන්. හැබැයි මේ මොනදේ කලත් නිසි විවේක කාලයන් ලබාගන්න අමතක කරන්න නම් එපා. එක දිගට පැය ගණන් වැඩ කරන එකෙන් කාර්යක්ෂමතාවය සෑහෙන්න අඩුවෙන්න පුලුවන්. ඒ වගේම පරිගණක තිර දිහා එහෙමත් එකදිගට බලාගෙන ඉන්න එක ඔබේ අක්ෂි සෞඛ්‍යයට අහිතකර වෙන්න පුලුවන්. ඇයි තව පැය ගණන් ඉඳගෙන ඉන්න එක? වැඩිපුර වාඩිවෙලා හිඳීමෙන් හැදෙන්න පුලුවන් භයානක රෝග ගැන අපි කිවුවා මතක ඇතිනෙ. ඒ නිසා පැයකට වතාවක්වත් විනාඩි දහයක පහලොවක විවේකයක් ගන්න. වැඩ කරන ගමන් කෑම නොකා ඒකට වෙනම විවේක කාලයක් අරගෙන ඔලුව පොඩ්ඩක් වැඩ වලින් ඈත් කරගන්න උත්සාහ කරන්න. විවේක වෙලාවටත් පුටුවෙ පතබෑවිලා ඉන්නෙ නැතිව අතපය පොඩ්ඩක් චලනය කරල ඇවිදින්න බලන්න.

8. Cloud Storage සේවා වල සේවය ලබාගන්න

ගෙදර ඉඳන් අන්තර්ජාලය හරහා වැඩ කරන කෙනෙක්ටනම් Dropbox, Google Drive වගේ දත්ත ගබඩාකර තැබීමේ සේවා පාවිච්චි කරන එකේ අගය කියල නිම කරන්න බැහැ. ඒ වගේ ක්ලවුඩ් සේවාවක තමන්ගෙ වැඩ කටයුතු ගබඩා කර තැබීමෙන් බොහොමයක් වැඩ ලේසි කරගන්න පුලුවන්. ඔයා ගෙදර නැති වෙලාවකට හදිසියේම කාර්යාලීය ලිපි ලේඛනයක් ඊමේල් කරන්න අවශ්‍යතාවක් ආවොත්, නැතිනම් වැඩකරන අතරේ හදිසි වැඩකට ගෙදරින් පිටතට යන්න උනොත් ඔයාගෙ ජංගම දුරකථනය හෝ වෙනත් ජංගම උපාංගයක් හරහා තමන්ගෙ කාර්යාලීය ලිපි ලේඛන සහ තොරතුරු වලට පිවිසීමේ හැකියාව ලැබෙනව මේ සේවා මගින්.

9. පැය 24ම වැඩ වෙනුවෙන් කැපවෙලා, සූදානම්ව ඉන්න එපා

ගෙදර ඉඳන් අන්තර්ජාලය හරහා වැඩ කරන කෙනෙක්නම් පැය 24 පුරාම කාර්යාලීය වැඩ එක්ක සම්බන්ධවීමේ හැකියාව ඔයාට ලැබෙනව. හැබැයි එහෙම උනා කියලා අත්‍යාවශ්‍යම වැඩකට ඇරුණහම තමන් වැඩ කල යුතු සහ වැඩ කරන්න තීරණය කරගෙන ඉන්න වෙලාවෙන් පිටත වැඩ කරන්න යන්න එපා. නැතිනම් ඒකෙන් වෙන්නේ ඔයාගෙ පෞද්ගලික ජීවිතේ නිදහසට, පෞද්ගලික සම්බන්ධතා වලට හානි වෙන එකයි. තමන්ගේ ප්‍රධානීන්ව සහ කාර්යාලීය සඟයන්වත් මේ ගැන දැනුවත් කරල ඉන්න. මම වැඩ කරන්නෙ මෙන්න මේ වෙලාවන් අතරෙ තමයි. එයින් පිටත වැඩක් ආවොත් මට කරන්න බැරි වෙයි කියන එක දන්වලා ඉන්න එක ඔයාගෙ පෞද්ගලික ජීවිතේ නිදහසට වාසිදායක වේවි.

10. ජාලගත ජීවිතේට ලිමිට් තියාගන්න

ගෙදර ඉඳන් වැඩකරන කෙනෙක්ගෙ කාර්යක්ෂමතාවය සෑහෙන්න පහල හෙලන්න පුළුවන් දෙයක් තමයි මේ සමාජ ජාලා වල කරක් ගහන එක. වැඩ දෙකක් අතරේ විවේකෙකදි පොඩ්ඩක් ඔලුව රිලෑක්ස් කරගන්න කියල ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටා වගේ තැන්වල කරක්ගහන්න යනවා. අන්තිමට වීඩියෝ පින්තූර බලලා, චැට් සෙට්වෙලා, ගේම් ඇදගෙන සෑහෙන කාලයක් නාස්ති කරගෙන තමයි ආයෙමත් රැකියා වැඩේට බහින්න වෙන්නෙ. ඒ නිසා මේ දේවල් වලට ලිමිට් එකක් තියාගන්න බලන්න. පොඩි බ්‍රේක් එකකදි සෝෂල් මීඩියා පැත්තෙ කරක් ගහන්න යනවානම් අඩුම ගාණෙ යම්කිසි වෙලාවකට අනුව එලාම් එකක්වත් තියාගන්න බලන්න.

11. මනුස්ස ආස්සරේට බාධා ඇතිකරගන්න එපා!

ගෙදර ඉඳන් වැඩ කරද්දි තේකක් හදාගෙන එන අම්මාව, බිරිඳව/සැමියාව, දරුවාව විතරක් නෙමෙයි නැට්ට වනාගෙන එන ගෙදර සුරතලාව පවා වෙලාවකට කරදරයක් හැටියට පේන්න පුලුවන්. හැබැයි තමන් වැඩ කරන කාලසීමාව ඉවරවුණ ගමන් හැකි ඉක්මනින් මේ අය එක්ක සාමාන්‍ය ජීවිතේ අපි ගතකරගෙන, සම්බන්ධතා පවත්වාගෙන යන්න මතක තියාගන්න ඕනෙ. ඔෆිස් වැඩ ගෙදර කෑම මේසෙට (කෑම මේසේ ඔෆිස් වැඩ වලට පාවිච්චි කරන්නේ නැතිනම් ;)), නිදන කාමරේට ගෙනියන්නෙ නැතිව ඉන්න වගබලාගන්න ඕනෙ. පෞද්ගලික ජීවිතේ විඳින්න නිදහසක් නැතිවෙනවා කියන්නෙ ඔයාව ඉබේම ආතතියට පත්වෙලා, ජීවිතේ බැලන්ස් එක නැතිවෙලා ඒක වක්‍රාකාරව රැකියා වැඩ වලටත් බලපානව කියන එකයි. ඒ නිසා එහෙම දේකින් පරිස්සම් වෙන්න.

ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක්නම් පවුලේ අය සහ හිතවත්තු එක්ක ටිකක් වැඩිපුර එළිපහලියට යන එකත් වැදගත්. මොකද ඔෆිස් යන කෙනෙක් ඔෆිස් එක ඇරිලා ගෙදර ආවට ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක්ගෙ කාර්යාලයත්, නිවහනත් වෙන්නෙ එකම තැනක්නෙ. අන්න ඒ නිසා පොඩ්ඩක් තමන්ගෙ දර්ශනපථය වෙනස් කරගන්නත් එක්ක ඩිනර් අවුට් එකක්, ෆැමිලි ට්‍රිප් එකක්, යාලු සෙට් වීමක් එහෙම ඉඳහිට දාගන්න එක වැදගත් වේවි.

- aniwa.lk


gossip lanka