ලංකාවෙ අපිට මුහුණ දෙන්න වෙන අසල්වැසි ප්‍රශ්න අතරින් 10ක්

අපි සාමාන්‍යයෙන් හරිම කැමතියිනේ අපේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. අනික අපි එහෙමමනේ ඉන්නෙත්!  අනුන්ගේ දේවල් හොයන්නෙම නැහැනේ. අනේ ඉතින් අපි මෙහෙම ඉන්නකොට, එහා ගෙදර කට්ටියට හරි වැඩලු. කොච්චර වැඩද කියලා කියනවා නම් ඒ වෙන දේවල්  එකතු කරලා මෙහෙම ආටිකල් ගහන්න තරම් දේවල් තියෙනවාලු.

 1. ගෙදෙට්ට යන්නේ එන්නේ කවුද?

සමහර වෙලාවට අපේ ගෙදරට එන්නේ යන්නේ කවුද කියලා අපි දන්නෙත් නැහැ. ඒ වුනාට එහා ගෙදර කට්ටිය අපිටත් එක්ක තොරතුරු හොයාගන්නවා. අහවලා ඉන්නේ කොහෙද?, කීවෙනි කසාදේද?, කලින් වයිෆ්ට ළමයි නැත්තේ ඇයි? අලුත් කෙනා බැන්දම ළමයි හම්බුන හැටි වගේ අටෝරාසියක් තොරතුරු අපිට කලින් එයාලා දැනගෙන.

මේ නිසා අපිට නම් කිසිම කරදරයක් නැහැ. අපේ නේබර්ස්ලා අපිට කලින් මහන්සි වෙලා මෙහෙට එන අය ගැන අපිටත් එක්කම හොයනවානේ.

2. කසාදෙ පරක්කු ඇයි?

අපේ අයියා හරි නංගි හරි මම හරි එළියට යනවා දැක්කොත් එහාගෙදර ආන්ටි “පුතා ප්‍රපෝසල් එකක් සෙට් වුනේ නැහැ?” කියලා අපි කාගෙන් හරි අහනවාමයි. බැරිවෙලාවත් අපේ අම්මට ඒක ගැන අමතක වෙලා හරි තියෙනවා නම් සතියකට පාරක් කෝල් එකක් අරගෙන එයාගේ වියදමෙන් ආපු මංගල යෝජනා ගැන අපේ අම්මාගෙන් අහන්න අමතක කරන්නේ නැහැ.

ඉන් පස්සේ එයාගේ කසාද බන්දලා දීපු දුවගේ කෙරුවාව හලන්න ගන්නවා. ඒවා අහගෙන ඉන්නකොට හිතනවා එහාගෙදර ඇන්ටිගේ දුව බැඳිලා ඉන්නේ එලිසබෙත් මහ රැජිණගේ අඳුනන පවුලකින් ද කියලා. බුදු අම්මේ විදින තවුසන්ඩ් ටෝක්ස්..!

3. ජොබ් එක ගැන හරිම උනන්දුව

“ඇයි මේ දවස් වල සුමාලි වැඩට ගියේ නැත්තේ? කොම්පැණිය වහලාවත්ද?”

අපේ අම්මාගෙන් මෙන්න මෙහෙම එක දවසක් එහා ගෙදර ආන්ටි අහලා. හොඳ වෙලාවට අපේ අම්මා නිවිලා ඉඳලා තියෙන්නේ. බැරි වෙලාවත් බොයිල් වෙලා හිටියා නම් අපේ අම්මාගෙන් අහගන්නවා ආපහු ලබන අවුරුද්දටත් එක්කලාම.

මාව එහෙම පේන්න බැහැනේ. “පොඩි පුතාට තාම ජොබ් එකක් හරි ගියේ නැහැ?” දවසට හතර පාරක් දැක්කොත් හතරපාරම කිසිම විලි ලැජ්ජාවක් නැතුව අහනවා. හම්මේ හිතට ඒ වගේ වෙලාවට දැනෙන සන්තෝසේ අම්මප!

4. පුද්ගලිකත්වයට බාධාව

ගියේ කොහෙද? යාළුවො මොනවද කරන්නේ? අර ඇවිත් ගියේ දුව බඳින්න ඉන්න බෝයිද? අම්මගේ දකුණු පැත්තේ කණට ඉහලින් කෙස් ගස් දෙකක් සුදු වෙලා තියෙන්නේ ඇයි? ඊයෙ හස්බන්ඩ් පොඩි ඩ්‍රින්ක් එකක් දාල වගේ නේද? මූණේ පිම්පල් එන්නේ ඇයි? මේ වගේ දාහක් ප්‍රශ්න අහනවා ගොඩක් වෙලාවට. කොටින්ම කිව්වොත් අපි ගැන අපිටත් වඩා උවමනාවෙන් හොයන්නේ ඇත්තටම එහා ගෙදර ආන්ටිම තමයි.

ඒ අතින් අපි ඒ ආන්ටිට ගරු කරන්න ඕනේ ඔව්..!

5. බලු ශරීර කෘත්‍යය

මෙහා ගෙදර අංකලුත් එහා ගෙදර ඇන්ටිට දෙවැනි නෑ. ගෙදර ඉන්නවා තඩි දඩෝරි බල්ලෝ දෙන්නෙක්ම. උන්ට කියල දීල තියෙන්නෙ අපේ වත්ත ටොයිලට් එකක් කියලද කොහෙද? හැමදාම හවසට පාරෙ වෝක් එකක් ගෙනියන ගමන් අපේ කම්බි වැට හරහා රිංගවල වත්තෙ අයිනකින් තමයි කක්කි දම්මවන්නෙ. මුලදි ඉවසන් ඉඳල බැරිම තැන ෂේප් එකේ දාන දාන අයිටම් එක ආයෙ එයාලගෙ වත්තට දැම්ම. යාන්තම් ඒ ප්‍රශ්නෙ විසඳුනා.

6. නැගී එන පූස් පරපුර

පල්ලෙහා ගෙදර ඉන්නව පූසියො දෙන්නෙක්. උන් නිතරම පැටවු ගහනව. හුඟක් වෙලාවට ඒ පැටවුන්ව ෂේප් එකේ අපේ වත්තට දාන එක තමයි කරන්නෙ. මීට අවුරුදු දෙකකට කළින් එහෙම අපේ වත්තට සංක්‍රමණය කරවපු බැළලි පැටියෙක් හින්දා අපේ වත්තෙත් දැන් බළල්ලු පස් දෙනෙක්ගෙම පරම්පරාවක් බිහිවෙලා ඉන්නෙ.

7. දුම්

හැම සතියෙම කුණු ටැක්ටරේට පෝර ගෝනි තුනක විතර කුණු ගෙනත් දානව එහා ගෙදර අංකල්. ඒ උනාට මොකද ඒ ඇන්ටිගෙ වැඩේ දවසට දෙපාරක් වත්තෙ කුණු පුච්චන එක. වැරදිලාවත් ජනේලයක් අරින්න අමාරුයි කෙළින්ම ගේ ඇතුලට දුම් බෝම්බයක් ගැහුව වගේ දුම් පිරෙනව. වත්තෙ රෙද්දක් වනාගන්න බෑ. ඇයි කොයි වෙළෙත් දුම් හින්ද මාර ගඳයි වේලුනාට පස්සෙත්.


8. සවුන්ඩ් සිස්ටම්

අල්ලපු ගෙදර කෙල්ල ඒ ලෙවල් කරල ගෙදර ඉන්නෙ. එයා උදේට දාගන්නව හින්දි සින්දු සෙට් එකක් කණ පැලෙන සද්දෙට. හවස් වෙද්දි ඒකිගෙ අයියා ගෙදර ඇවිත් උගෙ කම්පියුටරෙන් මර ලතෝනි දෙන රොක් සින්දු ප්ලේ කරනව. ඒ මදිවට අංකල් හවස් වරුවෙ මද පමණට ටිකක් උඩින් සම්මත වෙලා ආපු දවස්වලට ඉඳල ඉවරයි. කෙලින්ම ජෝතිගෙ මිල්ටන්ගෙ පැරණි රසාංග දාගෙන රෑ දෙගොඩහරියක් වෙනකම් ප්ලේ කරනව. අපේ අයියා මේ දවස් වල බයික් එකක් ගන්න අදහස පස්සට දාල කාමරේ සවුන්ඩ් පෘෆ් කරගන්න කියල සල්ලි එකතු කරනව. මටත් කෙල්ල එක්ක මලක් කඩාගන්නත් නෑ මේ වාත සද්ද දූෂනේ නිසා.


9. ගොසිපින්ග්

එහා ගෙදර ඇඳ උඩ ඊයේ හවස මොනවද වුනේ කියන තැන හිටං විජේවීර පළවෙනි පාරට විප්ලවය කියන වචනෙ කියපු දවස, දෙවෙනි ලෝක මහ යුද්දෙන් කීදෙනෙක් මළාද  වගේ කිසිම කෙනෙක් දන්නේ නැති දේවල් වුනත් එකම කෙනෙක් දන්නවා. ඒ තමයි එහා ගෙදර ආන්ටි. ඒ මදිවට නිවාඩු වෙලාවට එයා වගේම කොටන් ට්‍රැක්ටර් හතරකුත් එක්ක අපේ ගෙදෙට්ට ඇවිල්ලා පච හල හල ඉන්න පුරුදු වෙලා හිටියා. හරි අමාරුවෙන් නවත්ත ගත්තේ.

10. උවමනා එපාකම්

“ගෙදර ලුණු පොල්කට්ටේ වතුර මිදිලා වැඩිනම් ලුණු ටික ගන්නත් එන්නේ මෙහෙට තමයි” කියලයි  අපේ අම්මා කතාවට කියන්නේ. එක දවසක් ගෙදර රණ්ඩුවක්!  අපි බැලුවා මොකද කියලා. බලනකොට දුව ඇස් දෙකේ තියාගන්න ගෙනාව පිපිඤ්ඤා ගෙඩියක් ඇන්ටි පෙති කපලා මාළුවට හදලා. පස්සේ දුවව ශේප් කරගත්තෙ අපේ ගෙදරින්  පිපිඤ්ඤා ගෙඩියක් යවලයි.

- aniwa.lk
gossip lanka