ස්වභාවික ස්ක්‍රබ් එකක්, ක්ලෙන්සර් එකක් හදාගමුද? සැලෝන් නොයා ගෙදරදීම ලස්සන රුවකට සත්කාර 9ක්

සාමාන්‍යෙන් බොහෝ යුවතියන් දැන් මාසෙකට සැරයක්වත් සැලෝන් එකකට ගිහින් ක්ලීනප් එකක් ෆේශල් එකක් කරගන්නවා. මාසෙකට වතාවක් සැලෝන් එකකට දාස් ගාණක් වියදම් නොකර තමන්ගේ රූපය රැකගන්න ගෙදරදීම මේ සත්කාර කරගන්න අපිට බැරිද? පුළුවන්.

එදිනෙදා තමන් ඇඟ සෝදා පිරිසිදු වෙන කොට වගේම සතියකට සැරයක් මාසෙකට සැරයක් අපිට කරන්න පුළුවන් විවිධ රූපලාවන්‍ය සත්කාර
තියෙනවා. අනිවා අපි අද කියල දෙන්න යන්නෙ එහෙම පොඩි පොඩි බියුටි ටිප්ස් ටිකක්.

1. සරලම දේකින් පටන් ගමු. මුහුණ පිරිසිදු කිරීම.

ලස්සනත් එක්කම පිරිසිදුකමත් පවත්වගෙන යන එක ඉතාම වැදගත්. අනිවාර්යෙන් ඔබ උදෑසන නැගිට්ට හැටියේ වගේම රෑ නින්දට යන්න පෙර ෆේස් වොශ් එකක් බාවිතා කර මුහුණ පිරිසිදු කල යුතුමයි. විශේෂයෙන් කුරුලෑ සහිත සමක් ඇති කෙනෙක් නම් පිපිඥ්ඥා යුෂ, දෙහි යුෂ සහ රෝස වතුර සම ප්‍රමාණයෙන් ගෙන ආසාදිත ප්‍රදේශයේ තවරා විනාඩි දෙක තුනකට පසු මුහුණ සේදීම වඩාත් උචිතයි. දිනකට එක් වරක් මේ ප්‍රතිකාරය ප්‍රමාණවත්.

2. සිනිඳු රෙදිකඩක්

දිනපතා ඇඟ සේදීමේදී දවසට එක් වරක් සිනිඳු රෙදි කඩක සබන් තවරා ඇඟ අතුල්ලන්න. බෙල්ල, අත්යට, වැලමිට වගේ කළු වෙන තැන් විශේෂයෙන් මේ ආකාරයෙන් පිරිසිදු කරන්න. හැබැයි අතේ මුළු හයියම දාල අතුල්ලන්න එපා. යන්තම් හම ස්ක්‍රබ් වෙන විදියට කරන්න. මැරුණු සම ඉවත් වෙන්න වගේම දවස පුරා ඇඟේ රැඳෙන කුණු දූවිලි ඉවත් කරන්නත් මේ ක්‍රමය සාර්ථකයි. මාසෙකට සැරයක් සැලෝන් ගිහින් මුහුණ විතරක් ක්ලීනප් කරාට මදි. ඔබේ මුළු සිරුරටම මේ සත්කාරයන් අවශ්‍යයි.

3. ගෙදරදීම හදාගන්න පුළුවන් ක්ලෙන්සර්

සතියකට වතාවක් ක්ලෙන්සර් කිරීම ප්‍රමාණවත්. නැත්නම් සම උවමනාවට වඩා වියලේවි.

කුරුලෑ ඇති තෙල් සහිත සමක් හිමි කෙනෙක්ට මෙන්න මේ වගේ ක්ලෙන්සර් එකක් සුදුසුයි. මී පැණි සහ ලෙමන් කියන්නෙ ස්වභාවික විශබීජ නාශක. ලෙමන් යුෂ තේ හැන්දකට මී පැණි තේ හැඳි දෙකක් එක් කර මුහුණෙ සහ බෙල්ලේ තුනීයට තවරා මිනිත්තු 5ක් පමණ සිට මඳක් රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න.

වියළි සමකට සුදුසුම ක්ලෙන්සර් එකක් තමයි යෝගට් කියන්නෙ. ප්ලේන් යෝගට් මේස හැන්දකට රෝස වතුර තේ හැන්දක් එක් කර තුනීයට මුහුණෙ සහ බෙල්ලේ තවරා විනාඩි 5ක් පමණ සිට සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදන්න.

4. ගෙදරදීම ස්ක්‍රබ් එකක්

මුහුණ ස්ක්‍රබ් කරන්න ඕන සතියකට වතාවක් පමණයි. ඒ වගේම තව කෙනෙකුගේ උදව්වක් අරගෙන ඔබේ පිට ප්‍රදේශයත් මාසෙකට වතාවක්වත් ස්ක්‍රබ් කරන්න. පිට ඇරපු සාරි හැට්ටයක්, ගවුමක් අඳින්න අදහස් කරනවානම් ඔබේ සමත් ලස්සනට පිරිසිදුවට තියෙන්න ඕනෙමයි. මුහුණට විතරක් සත්කාර කරන ඔබේ පුරුද්ද අත් හරින්න. මුළු ඇඟ ගැනම හිතන්න. ගෙදර හදාගන්න ස්ක්‍රබ් එකකට ඒ හැටි වියදමක් යන්නෙත් නෑ.

වියලි සමක් ඇති යුවතියක් නම් ඔබට ඉඳුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර එයට කුඩු කරගත් සීනි තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් එක් කර මුහුණේ ආලේප කර හෙමිහිට කවාකාරව ස්ක්‍රබ් කරන්න.

තෙල් සහිත සමක් ඇති යුවතියක් නම් කහපාට දොඩම් ලෙලි ගෙන කුඩු කරගත හැකි මට්ටමට පවනේ වේලා කුඩු කරගන්න. දොඩම් කුඩු මේස හැන්දකට මී පැණි තේ හැන්දක් එක් අර මුහුණේ තවරා කවාකාරව ස්ක්‍රබ් කරන්න.

මතක තබා ගන්න විනාඩි දෙකකට වඩා ස්ක්‍රබ් කිරීම සුදුසු නෑ වගේම ඇස් වටා ස්ක්‍රබ් කරන්නෙත් නෑ.

5. ෆේස් පැක් එකක් ගෙදරදීම හදාගමු

තෙල් සහිත සමක් ඇති ඔබට ස්ක්‍රබ් කරන්න හදාගත් පරිදිම දොඩම් කුඩු හදාගන්න. එම දොඩම් කුඩු සහ යෝගට් සම ප්‍රමාණයෙන් ගෙන කලවම් කර මුහුණෙ සහ ගෙලේ තවරා විනාඩි 15ක් තබා ලා රස්නේ වතුරෙන් සෝදා හරින්න.

වියළි සමක් ඇති ඔබට ඉදුණු කෙසෙල් ගෙඩියකට මී පැණි තේ හැන්දක්, ඔලිව් තෙල් තේ හැන්දක් දමා හොඳින් පොඩි කර මුහුණේ සහ ගෙලේ තවරා විනාඩි 20ක් තබා සීතල වතුරෙන් සෝදා හරින්න.

6. මුහුණේ තරුණකම රැකගන්න ව්‍යායාම

නළු නිළියන් ප්ලාස්ටික් සැත්කම් කලාට සාමාන්‍ය අපිට ඒව කරන්න හැකියාවක් නැහැ වගේම ස්වබාවිකව තරුණකම රැකගන්න එක සෞඛ්‍යට ඊට වඩා වටිනවා. මෙන්න මේ පහත ලින්ක් එකේ ඇති වීඩියෝවෙන් ඔබට ඔබේ මුහුණේ තරුණ බව රැකගන්න පුළුවන් ව්යයාම කිහිපයක් සරලව විස්තර කරනවා. ෆේස් යෝගා වලින් ඔබට ඔබේ ලස්සන පෙනුම සෑහෙන කාලයක් පවත්වගන්න බලමු.


7. මුළු සිරුරටම සත්කාරය

පිටින් විතරක් එක එක දේවල් ආලේප කරල විතරක් මදි. අපේ ඇඟ ඇතුලෙනුත් අපි සමේ පෝශණයට අවශ්‍ය දේවල් ලබා දෙන්න ඕනේ.
හැකි තරම් වතුර බොන්න. සමේ නිරෝගීකම වගේම තරුණ බව පවත්වගෙන යන්න සමේ තෙතමනය ආරක්ශා කර ගැනීම ඉතාම වැදගත්. හැකි හැමවිටම තේ කෝපි වගේ කැෆීන් අඩංගු දේවලින් ඈත් වෙලා රණවරා මල්, බෙලිමල් වගේ ඖශධීය ගුණයෙන් යුතු දේවල් පානය කරන්න. රණවරා මල් බීමෙන් ඇඟේ උශ්ණත්වයද අඩු කරනවා වගේම සම පැහැපත් වෙන බවට මතයක් තිබෙනවා. කුරුලෑ එන්න එක හේතුවක් සිරුරේ අභ්‍යන්තරයේ උශ්ණත්වය.

8. හිසකෙස් වලට පෝෂණය

මේ සත්කාරය සතියකට වතාවක් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒත් අඩුම ගානේ මාසෙකට වතාවක් හෝ කරන්න පුළුවන් නම් නිරෝගී කෙස් කලඹක් සිහිනයක් නෙවෙයි. පිරිසිදු පොල් තෙල්, තල තෙල්, එඬරු තෙල් සම ප්‍රමාණයෙන් ගෙන එකට මිශ්‍රකර එයට සැවැන්දරා මුලක්, කරපිංචා ටිකක් එක් කර බෝතලයක දමා තබා ගන්න. ඔබ head massage එක කරන්න ගන්න විට එයින් ටිකක් ඇලුමිනියම් භාජනයකට දමා උණුවතුර එකක බහා යන්තම් රත් කරගෙන හිස ගල්වන්න. ඇඟිලි තුඩු අඟින් වැඩිය තද නොකර මෘදුව හිස්කබල සම්බාහනය කරන්න. උණුවතුරෙන් තෙමා හොඳින් මිරිකාගත් තුවායකින් හිස ඔතා පැයක් සිට හිස ෂැම්පු කර සෝදා හරින්න.

9 .ෂැම්පු කිරීම

ඔබ දිනපතාම නාන කෙනෙක් නම් දිනපතාම හිස ෂැම්පු කිරීම සුදුසු නෑ. එයින් හිස් කබල වියළෙනවා. සතියකට තුන් වතාවක් ෂැම්පු කිරීම ප්‍රමාණවත්. ඒවගේම කුණු යන්න කියල තදින් හිස ඇතිල්ලීමෙන් ඔබ ඔබේ හිසේ ඇති ස්වභාවික තෙල් තට්ටුවට හානි කරනවා වගේම හිස කෙස් කැඩී යාමටත් එය හේතුවක්.

- aniwa.lk


gossip lanka