බිරියානියක් කන්න පුළුවන් තැන් තියෙන්නෙ කීපයයි. ගෙදර ඉන්න වෙලාවක බිරියානියක් කන්න හිතුනොත් ඉතින් ඒ ආසාවට තිත තියල තියෙන හොද්දක් මාළුවක් එක්ක බත් ටිකක් කන්න හිත හදාගන්න අවස්ථා නැතුවමත් නෙවෙයිනෙ. ඔන්න ඒ නිසා අනිවා අපි ගෙදරදීම රසට බිරියානියක් හදාගන්න හැටි අරන් එන්න හිතුව.
1. බිරියානි මසාල පව්ඩර්
මේ කියන බිරියානි මික්ස් පව්ඩර් එක ටිකක් වැඩිපුර හදා ගත්තොත් ෆ්‍රීසර් එකේ දාල අවුරුද්දක් උනත් තියාගන්න පුළුවන්. වියළි හැන්දක් පාවිච්චි කරන එක විතරයි වැඩි පරිස්සමට කරන්න තියෙන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය
- බේ ලීෆ් එකක් (දවුල් කුරුඳු හෝ කුරුඳු කොලයක් පවනේ වියලා ගන්නත් පුළුවන්)
- මහදුරු තේ හැඳි 1 1\2
- කරදමුංගු ඇට 8
- ගම්මිරිස් ඇට තේ හැඳි 1
- කුරුඳු පොතු අඟල් 2ක කෑලි 5ක්
- කරාබු නැටි මේස හැන්දක්
- කොත්තමල්ලි ඇට මේස හැඳි 4
- සූදුරු මේස හැඳි 2
- වසාවාසි 1ක්
- සාදික්කා කුඩු තේ හැඳි 1\2
- ස්ටාර් අනීස් 2ක් (සුපිරි වෙළඳ සැල් වලින් ලබාගන්න පුළුවන්)
- මේ සියළු ද්‍රව්‍ය වෙන වෙනම කබලේ බැද නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න.
- බිරියානි වර්ග කීපයක්ම තියෙනව. හදන ක්‍රමය අනුව සහ පාවිච්චි කරන ද්‍රව්‍ය අනුව තමා මේ වෙනස එන්නෙ. අපි මේ හදන්න යන්නෙ පහසුවෙන්ම හදාගන්න පුළුවන් හයිද්‍රාබාද් ඩම් බිරියානි එකක්. ඩම් කියන්නෙ ස්ලෝ කුක් එහෙමත් නැත්නම් අඩු ගින්දරේ වැඩි කාලයක් පිස ගන්න එකටයි. චිකන් වෙනුවට කැමති මස් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් බලමු බිරියානි එකක් හදාගන්නෙ කොහොමද කියල.
2. චිකන් මැරිනේඩ් එක
අවශ්‍ය ද්‍රව්‍ය
- හදාගත් බිරියානි මසාල තේ හැඳි 2
- තලාගත් ඉඟුරු, සුදු ළූණු පේස්ට් තේ හැඳි 3\4
- මිරිස් කුඩු තේ හැඳි 3\4
- කහ චුට්ටක්
- යෝගට් කප් 3\4 (මෙශරින් කප්)
- අමු මිරිස් කරල් 3
- චොප් කරගත් කොත්තමල්ලි කොල මිටක්
- චොප් කරගත් මිංචි කොල මිටක්
- දෙහි යුශ මේස හැන්දක්
- රෝස වතුර තේ හැඳි 3\4
- රස අනුව ලුණු
- කපාගත් චිකන් 750g
- ඉහත සියල්ල හොඳින් මිශ්‍ර කර චිකන් එකට දමා අවම පැය 2ක් ශීතකරණයේ තබන්න. රැයක් තියන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි.
3. බිරියානි හදමු
අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා)
- බාස්මතී හාල් කප් 2
- රස අනුව ලුණු
- තෙල් තේ හැඳි 1
- සූදුරු තේ හැඳි 1\2
- කරදමුංගු කරල් 4ක්
- බේ ලීෆ් 1
- කරාබු නැටි 4, 5ක්
- කුරුඳු පොතු පොඩි කෑල්ලක්
- වතුර කප් 10ක්
බත් එක සඳහා වෙනම අවශ්‍ය ද්‍රව්‍ය
- ගී මේස හැඳි 3
- දුඹුරු පැහැ වන තෙක් බැදගත් ළූණු
- මින්චි සහ කොත්තමල්ලි කොල ටිකක්
- කිරි වල පොඟවා ගත් සැෆ්රන් හෝ කහ ස්වල්පයක් මිශ්‍ර කරගත් කිරි මේස හැඳි 2,3ක්
- මැරිනේඩ් කරගත් චිකන් එක එළියට ගෙන සීතල ගතිය ඉවත් වෙන තුරු තබාගන්න.
- හාල් හොඳින් සෝදා වතුර පෙරා විනාඩි 30ක් පසෙකින් තබා ගන්න. වතුර කප් 10 උතුරන්නට හැර එයට තෙල් සහ අනෙක් ද්‍රව්‍ය එක් කර හාල් ටිකත් එක් කරගන්න. බත් 3\4ක් ඉදුනු පසු වතුර ටික පෙරා ඉවත් කරගන්න.
- චිකන් ටික පතුල ඝණකම භාජනයකට දමා එයට උඩින් උයාගත් බත් දමා තැනින් තැනට සැෆ් රන් මිශ්‍ර කිරි ඉස ගන්න. බැදගත් ළූණු, ගී, මිංචි කොල සහ කොත්තමල්ලි කොලත් උඩින් ඉස ගන්න. කැමති නම් රෝස්ට් කරගත් කජු ටිකකුත් එකතු කරගන්න පුළුවන්.
- මේ භාජනය තෙත රෙද්දකින් වසා හොඳින් තද වෙන පරිදි පියනකින් වසන්න. අවශ්‍ය නම් උඩින් බරක් තබා ගන්න. විනාඩි 5ක් මද ගින්දරේ ලිප තබා ගන්න. ඒ අතර තුර තෝසේ තැටියක් රත් වෙන්න තබා ගන්න. විනාඩි 5ක් මද ගින්නේ තබාගත් භාජනය තෝසේ තැටිය මත තබා විනාඩි 30-40ක් මද ගින්නේම පිස ගන්න.
4. බිරියානි කන්න මිංචි සම්බෝල හදමු
- මිංචි කොල අහුරු දෙකක්
- කොත්තමල්ලි කොල මිටක්
- ඉඟුරු පොඩි කෑල්ලක්
- සුදු ළූණු බිකක්
- අමු මිරිස් කරල් 2ක්
- පොල් මේස හැඳි 3
- ළූණු මේස හැඳි 2
- රස අනුව ලුණු
- දෙහි ඉස්ම මේස හැන්දක්
- යෝගට් හෝ මී කිරි තේ හැන්දක්
- ළූණු, ඉඟුරු, සුදු ලූනු, මිංචි, කොත්තමල්ලි, අමු මිරිස් සහ ලුණු වතුර මේස හැන්දක් පමණ එක් කර බ්ලෙන්ඩ් කරගන්න. එයට පොල් එක් කර නැවත බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩරෙන් ඉවතට ගෙන යෝගට් සහ දෙහි ඉස්ම එක් කර මිශ්‍ර කරගන්න.
5. බැදගත් බිත්තරය
- බිරියානි එක්ක එන බිත්තරේ හරියට බැදගන්න හුඟ දෙනෙක් දන්නෙ නෑ. මෙන්න ඒ බිත්තරේ බදින හැටි.
- හොඳින් තම්බාගත් බිත්තරයේ කටු හැර තැනින් තැන පිහි තුඩකින් සිදුරු කරගන්න. එහෙම කරන්නෙ බිත්තරේ බදින කොට පුපුරල තෙල් විසික් වෙන්නෙ නැති වෙන්න.
- කහ චුට්ටක්, ලුණු ටිකක්, මිරිස් කුඩු චුට්ටක් එකට මිශ්‍ර කර යන්තම් වතුර දමා පේස්ට් එකක් සාදාගන්න. එය බිත්තර මත තවරා විනාඩි 10ක් පමණ තියෙන්නට හැර බිත්තර ගැඹුරු තෙලේ බැදගන්න.
6. බැදගත්තු චිකන්
බිරියානි එක අපේ තාලෙට කන කොට ජනප්‍රියම ක්‍රමේ තමා මිංචි සම්බෝලෙයි රෝස්ට් චිකන් එකයි. ගෙදර බිරියානි හදාගන්න කොට රෝස්ට් චිකන් එක හදාගන්න කරන්න තියෙන ලේසිම ක්‍රමේ තමයි බිරියානි බත ඉදුනට පස්සෙ බත් එකට දාපු චිකන් කෑලි ටික එලියට අරන් බත් ඇට ටික අයින් කරල ගැඹුරු තෙලේ බැදගන්න එක. බතට දාන හැම පහේ එකක්ම හොඳට මස් එකට අල්ලල තියෙන නිසා මේ චිකන් එක අමුතුවෙන් මැරිනේඩ් කරන්න දේකුත් නෑ.
- aniwa.lk