මංගල උත්සවයකට ගොස් මේ රීතින් ඔබත් පිලි පැදලා තියෙනවද?

විවාහ මංගලෝත්සවයක් කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවසක්. ඒ වගේම දැන් මංගල උත්සවයක් ගන්නවා කියන්නෙත් ඒ හැටි ලේසිපාසු කටයුත්තක් නෙමෙයි. බොහොම විය පැහැදම් වෙන කටයුත්තක්. ඉතින් ඒ දවසේ සන්තෝෂය බෙදාගන්නට කෙනෙක් ඔබට
ආරාධනාවක් කරනව කියන්නෙ ඔබ ඔවුන්ගේ සමීප හිතවතෙක් හැටියට ඔවුන් සලකන නිසයි.

කොහොම වෙතත් අපි මගුල් ගෙවල්වල යනකොට දැනුවත්ව හෝ නොදැනුවත්ම විවිධ අතපසුවීම් වැරදි අපෙන් සිදුවෙන්නට පුළුවන්, එහෙම අවස්තාවක අපිට ආරාධනා කල පුද්ගලයින් ඒවායින් අපහසුතාවට පත්වෙනවා කියල කිව්වොත් තමා නිවැරදි. ඒ නිසා මේ ලිපියේ තිබෙන කාරණා පොඩිත්තක් කියවලා හිතට ගන්න පුලුවන්නම් හරිම වටීවි. ඒ වගේම මේ දේවල් පිළිපැද්දොත් ඔබේ තත්ත්වයත් ඉහල නැංවේවි.

1. නොපැමිණේ නම් කලින් කියන්න

ප්‍රධානම දේ තමයි ඔබට ආරාධනා කරන පාර්ශවයට අපහසුවක් නොවෙන පරිද්දෙන් හැසිරෙන්නට වග බලා ගන්න එක. එය කරන්නට මගුල් ගේ වෙනකල්ම ඉන්නට උවමනා නැහැ. ඊට කලින් වුනත් පුළුවන්.

යම් විදියකින් ඔබට මගුල් ගෙදරට සහභාගී වන්නට හැකියාවක් නැති නම් ඒ බව කලින්ම පවසලා ඔවුන්ට ත්‍යාගයක් මගුල් ගෙදරට කලින් දී එන්නට පුළුවන් කම තිබෙනවා. එය අපි හැමෝම කරන පිළිගත් රීතියක්. මෙයින් ඔවුන්ට ඔබේ නොපැමිණීම නිසා හිස් වන අසුනට වෙන කෙනෙකුට ආරාධනා කරන්නට හැකියාව ලැබෙනවා. නමුත් ඔබ දැනුම් නොදුන්නොත් වෙන්නේ ඔවුන්ගේ ඒ අවස්තාව අපතේ යන එකයි.

2. වැඩිපුර කට්ටිය එපා!

ආරාධනා පත්‍රයෙන් තුලින් ආරාධනා කරලා තිබෙන්නේ ඔබට විතරක් නම් ඒ ඔවුන් අනික් ගෙදර සාමාජිකයින්ට අකමැති නිසා නෙවෙයි. ඔවුන්ට තවත් බොහෝ දෙනෙකුට ආරාධනා කරලා තිබෙන නිසයි.

මේ නිසා අදාළ පාර්ශව වලින් ආරාධනා කලොත් හැරෙන්න, කිසිම විටක වැඩිපුර කෙනෙක් රැගෙන යන්න එපා. අනාරාධිතව පැමිණෙන්නා කිසිම ගැටළුවක් නැතිව කිසිවෙකුට නොදන්වා ආහාර පාන ගෙන ගියත්, ඒවා හෝටලයේ අවසාන බිලට එකතු වීම වලක්වන්නට බැහැ. එතකොට කාටද කරදර කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ නේද? ඒ වගේම මෙසේ කිරීම මගින් ඔවුන්ට ඔබ කෙරෙහි අපැහැදීමක් ඇති වන්නටත් අනිවා පුලුවන්.

3. ෆොටෝග්‍රැපර්ස්ලට කරදරයක් වෙන්න එපා

ඕනෑම මංගලෝත්සවයකදි අමුත්තන් තමන්ගෙ ස්මාට් ෆෝන් එකක් හෝ කැමරාවක් පාචිච්චි කරල පින්තූර ගන්න එක සාමාන්‍ය කාරණයක්. ඒ උනත් සමහරු මේ පුරුද්ද තවත් දුර ගෙනිහිල්ල තමන්ට ආරාධනා කරපු පුද්ගලයන්ටත් කරදරයක් වෙන අවස්ථා තියනව. ඡායාරූප ශිල්පීන්ට අවහිරයක්, හිරිහැරයක් වෙන විදිහට තමන්ගෙ ෆෝන් සහ කැමරා මානමින් ඒ අය හැසිරෙද්දි මංගල යුවලටත් කැමරා ශිල්පීන්ටත් මුහුණු දෙන්න වෙන්නෙ දැඩි අපහසුතාවයකටයි. ඒ නිසා උත්සවේ ඡායාරූප ගන්නා ශිල්පීන්ගේ වැඩ වලට අවහිර නොවන පරිද්දෙන් ඔබේ ඡායාරූප මතක සටහන් ලබාගන්න උත්සාහ කරන්න.

4. වෙලාවට යන්න

ආරාධනා පත්‍රයේ යම් වෙලාවක් සටහන් කර තිබෙනවා නම්, අදාළ ස්ථානයට ඒ වෙලාවට කලින් හෝ අඩුම තරමේ නියමිත වෙලාවට යන්නට පුලුවන්නම් එය ආරාධනා කල පාර්ශවයට සතුටක් වේවි. එසේම ඔබ ඔවුන් ගැන ඇති ගෞරවය නිසා එලෙස වේලාවට පැමිණි බව සිතා ඔවුන් තුලත් ඔබ ගැන ඇති ගෞරවය වැඩි දියුණු වේවි.

5. අනෙක් ආගම් වලට ගරු කරන්න

අපි දැකලා තියෙනවා සමහර මගුල් ගෙවල් වල ආගමික කටයුතු කතෝලික පල්ලියේ සිදු කරනවා. එහිදී ඔවුන් කියන ගීතිකා කියනවිට හුන් ආසන වලින් නැගිට ඒවා ගායනා කිරීම සාමාන්‍ය සිරිතක්.

නමුත් සමහර අන්‍යාගමිකයින් ඒවා තමන්ගේ ආගමේ නොවන බව කල්පනා කරලා ඔවුන් නැගිට ගීතිකා ගායනා කරනකොට කිසිදු හැල හොල්මනක් නැතිව ඉඳගෙන සිටිනවා. මේ ලෝකේ ආගම් වලට ගරු කරන්නට අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැහැ, තමන්ගේ ආගම නොවුනා කියා ඒවාට ගෞරව කලාට පවු සිදුවන්නේත් නැහැ කියලා අපි මෙතැනදී කියා සිටිනවා.


6. මුලින්ම ජෝඩුවට සුභ පතන්න

අපේ සමහර මගුල් ගෙවල් වලට සහභාගී වෙන අය කරන එක නරක වැඩක් තමයි මේ. මංගල උත්සවය ආරම්භ වුනු පසුව පරක්කු වී පැමිණ කෙලින්ම එක්කෝ මත්පැන් පානයට වෙන් කර ඇති කොටසට හෝ කාන්තාවක් නම් “ලිඳ ළඟ සංගමයට” සහභාගී වෙනවා.

කවුරුවත් මගුල් ජෝඩුවට සුභ පතන්න උත්සුක වෙන්නේ නැහැ. එහෙම වුනාම දැනෙන්නේ අපේ මගුල් ගෙදරට ඔවුන් සහභාගී වුනා වගේ හැඟීමක් තමයි.

මේ නිසා කරුණාකරලා දෙපලට සුභ පතන්න. ඔවුන්ගේ ජීවිතය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන බව පවසන්න. එය කියන ඔබටත් සුභපැතුම් ලබන ඔවුන්ටත් සතුටක් වෙනවා නිසැකයි.

7. ගෞරවේ රැකෙන විදියට අඳින්න

මේ කාරණේ නම් ලංකාවේ වෙනවද කියා ප්‍රශ්නයක්. යම් විශේෂ අවස්ථාවකට හැරෙන්නට ලංකාවේ මගුල් තුලා වලට අඳින්නේ කොහොමද කියලා අමුතුවෙන් කියන්නට උවමනා නැහැනේ.

ඒ වුනත් සමහර අය තමන් හදිසියේ පාන් ගෙන්න කඩේට ආවා වගේ පෙනෙන විදියට අඳින වෙලාවල් තිබෙනවා. අනේ මිත්‍රවරුනි, ඔබේ ගෞරවය ගැන සැලකිල්ලක් නැතිනම් අඩුම තරමේ ඔවුන්ගේ ගෞරවය ගැනවත් සිතලා ලස්සනට සහ පිළිවෙලට අඳින්න උත්සහ කරන්න.

ඒ වගේම කාන්තා පාර්ශවය ගොඩක් වෙලාවට දීප්තිමත් වර්ණ වලින් (සුදු /ඇත් දල වර්ණය) සැරසී සිටින්න උත්සහ කරනවා. මේක නරක දෙයක් නෙවෙයි. නමුත් එදාට ප්‍රධාන වශයෙන්ම කැපිලා පෙනියයුත්තේ මනාලියයි. ඇය ඇගේ මංගල ඇඳුමට බොහෝවිට භාවිතා කරන්නේ සුදු පැහැයට හුරු වර්ණ වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා උත්සවයට සහභාගිවන කාන්තාවක් නම් එවැනි වර්ණ වලින් යුතු ඇඳුම් භාවිතයේදී පොඩ්ඩක් සැලකිලිමත් වුනොත් කදිමයි.

8. වටිනාකමට සරිලන තෑග්ගක් දීම

සමහර වෙලාවට මගුල් ගෙදරකට ත්‍යාග ලෙසට මෙලෝ රහක් නැති ඔරලෝසු, සමහර වෙලාවට ටෙඩිබෙයාලා හිටන් ත්‍යාග දෙන අවස්ථා තිබෙනවා. අපිට කියන්න තියෙන්නේ අනේ එහෙම කරන්න එපා කියලා තමා.

ඔවුන් අප වෙනුවෙන් අපට සලකන්න විශාල මුදලක් වැය කරනවා. ඉතින් අපේ යුතුකම තමයි, ඔවුන්ට අපගේ ප්‍රසාදය පෙන්වන්නට ඔවුන්ට යම් ත්‍යාගයක් ලබාදීම. එය අඩු ගානේ සිහිවටනයක් ලෙසවත් ඉතිරි වේවි.

නමුත් අවාසනාවකට ලංකාවේ තිබෙන ආර්ථික තත්වය නිසා ත්‍යාග වෙනුවට මුදල් දෙන්නට පුරුදු වෙලා. අවාසනාවට වර්තමානයේ මඟුල් ජෝඩුවත් බලාපොරොත්තු වෙන්නේ එහෙම දේවල් තමයි.

9. සමාජශීලි වෙන්න

මගුල් ගෙදරට ගියාට පස්සේ කා එක්කවත් කතා කරන්නේ නැතුව හොරෙක් මගුල් ගෙදර ගිහින් වගේ ඉන්න අය ඕනේ තරම් ඉන්නවා. අපිට කියන්න තියෙන්නේ අනේ එහෙම ඉන්න නම් එපා. පොඩ්ඩක් සමාජශීලි වෙලා පුංචි විහිළුවක් එහෙම කරලා ඔවුන් එක්ක ගෙවන කාලය සුන්දරව ගෙවන්න උත්සහ කරන්න. තමන්ගේ මගුල් දිනයේදී අමුත්තන් සතුටින් සිටිනවා දකින එක මංගල යුවලකට ඉතාම සන්තෝෂජනක හැඟීමක් ගෙන දෙන්නක්.

10. කෑම ප්‍රමාණවත් අයුරින් ගන්න/මත්පැන් ලිමිට් කරගන්න

සමහර අය බුෆේ එකේදී බෙදාගන්නේ මේ තමන් කන අවසාන කෑමවේල වගේ හිතාගෙනයි. එච්චර කන්නත් බැහැ, නමුත් බත් එක හරියට  පිදුරතලාගල පිඟාන උඩින් තියල වගේ. මුණ පේන්නෙත් නැහැ ටිකක් නැවුනට පස්සේ. එහෙම නොවී කරුණාකරලා පමණට බෙදාගන්න. අපි ටික කලකට කලින් පලකලා බුෆේ එකකදී පිලි පදින්න ඕනේ ආචාර ධර්ම ගැන  ලිපියක්, ඒක කියවන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම තමයි ගානට ස්ටෙලා වෙන්න. තමන්ගේ ලිමිට් එක පැනගෙන ජෝකර් කෙනෙක් වගේ ඉන්න හදන්න එපා. අනවශ්‍ය ගැටලු හදාගෙන, පරණ කෝන්තර පිරිමහගෙන වලිදාගන්න යන්නත් එපා. එතනින් හානි වෙන්නේ තමන්ගේ තත්ත්වෙට විතරක් නෙමෙයි ඔබට ආරාධනා කරන කෙනාගේ තත්ත්වයටත් එමගින් හානියක් සිදුවනවා.


11. රැග් කරන්නෙ ප්‍රවේසමෙන්!

සාමාන්‍යයෙන් මංගල උත්සවයකදි ජෝඩුවට පොඩි රැග් එකක් දෙන එක දැන් කාලෙ චාරිත්‍රයක් වගේ වෙලා. මේ දේ වෙලාවකට යාලු හිතමිත්‍රාදීන්ට වගේම මනාල යුවලටත් විනෝදයක් ගෙන දෙනවා. හැබැයි ඉතින් මේ රැග් එක හරිහැටි සැලසුම් කරගෙන කරන තරමට තමයි කාටත් සැනසිල්ලක් උදාවෙන්නෙ. සිහි විකල් වෙනකම් මත්පැන් බීල මනාල ජෝඩුවට හරි හෝටලයට හරි හානි වෙන විදිහේ පිස්සු වැඩ නොකර මේ අවස්ථාව විනෝදයෙන් සහ ප්‍රවේසමෙන් ක්‍රියාත්මක කරන එක අමුත්තෙක් හැටියට සහභාගි වෙන අයගෙ වගකීමක්.

- aniwa.lk

gossip lanka