ආදර සම්බන්ධය අවසාන වුනත්, දෙන්නත් එක්ක යාලු පිට් එකේ ඉන්නෙ කොහොමද කියලා දැනගන්න මේ කරුණු 7 කියවන්න

මෙහේ නං ගොඩක් වෙලාවට ලව් එකක් කැඩෙනවා කියන්නේ දෙන්නා නයි පොළොං වයිර වෙලා තමයි නවතින්නේ. කෙල්ලව හරි කොල්ලව හරි ෆේස්බුක් එකවුන්ට් එකෙන් බ්ලොක් කරලා, දන්න දන්න හැමෝම එක්ක කියලා බැණලා, හෙණ ඉල්ලලා, පුලුවන් නං කෝවිලේ ගිහිල්ලා ගම්මිරිසුත් අඹරලා තමයි වැඩේ ක්ලෝස් කරන්නේ. ඇත්තම කිව්වොත් ඉතින් සමහර රිලේෂන්ෂිප් වලදී එකෙක් අනිකාව පුලුවන් තරම් පාවිච්චි කරලා, අනිකාට චීට් කරලා, කඩේ යවලා, ග‍ඟේ යවලා සම්බන්ධේ කඩලා දානකොට ඔය වගේ මරාගෙන කාලා, වල දාලා, වල
උඩ නටන්න තරම් කේන්තියක් එනව තමයි. හැබැයි එහෙම නැතුව දෙන්නට දෙන්නගේ නොගැළපීම් නිසා වෙන් වෙන්න වුණු වෙලාවක, එහෙම නැත්නම් ගෙදර කේස් අනං මනං හින්දා වෙන් වෙන්න වෙච්ච වෙලාවක දෙන්නටම හිතෙන දෙයක් තමයි අර ඉස්සර තිබුණු යාලුකමවත් තියාගන්න ඇත්නං කියලා. ඇත්තටම එහෙම පුලුවන්ද? ඒ ගැන දැනගන්න මේ ටික කියවන්න.

1. ටික කාලයක් යාලු පිට් පැත්තක තියන්න වෙනවා

පරණ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක යාලු මිත්‍රකමකින් ආස්සරේ කරන්න නම් පළවෙනියටම කරන්න ඕන දේ තමයි ටික කාලයක් ඈත් වෙලා ඉන්න එක. ඇයි එහෙම කියන්නේ? අදහස් නොගැලපෙන හින්දා හරි, වෙන මොකක් හරි සාධාරණ හේතුවක් හින්දා හරි ලව් එකක් කැඩෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ. ඒක ලොකු දුකක්. දැන් හෙට ඉඳන් අපි යාලුවො වගේ ඉම්මු කියලා යාලු කතා බහ කරන්න යන එකෙන් වෙන්නේ කෙල්ලට හරි කොල්ලට හරි හිත හදාගන්න බැරි වෙන එක. අන්න එතකොට දෙන්නා වයිර වෙලා නවතින්න පුලුවන්. ආන්න ඒ නිසා එයාට හිත හදාගන්න කාලයක් දීලා තමන් පැත්තකට වෙලා ඉන්න ඕන. සමහරු යනවා පරණ ගෑල්ලමයගේ හරි පිරිමි ළමයගෙ හරි හිත සනසලා ලකුණු ටිකක් දාගන්න ඕනය, එතකොට යාලු පිට් එකක් ඇති වේවිය කියලා හිතාගෙන. ඒවා හරියන වැඩ නෙවෙයි. ඒ නිසා පළවෙනි පියවර තමයි තමන් එක්ක තිබුණු ආදරේ සහ විරහ දුක තුනී වෙලා වෙන කෙනෙක් ගැන හිතන්න පුලුවන් කම පරණ පෙම්වතාට හෝ පෙම්වතීට ලැබෙනකල් සයිඩ් ගහලා ඉන්න එක.

2. ළං වෙන්න කාලේ හරි නම්

දැන් ඔහොම කාලයක් ඈතින් හිටියට පස්සේ පුලුවන් පොඩ්ඩක් දෙන්නත් එක්ක පොඩි චැට් එකක් දාලා බලන්න. හැබැයි සීරියස් චැට් හරියන්නෙ නෑ. “මොකද කරන්නේ”, “අද ගෙදරද” ටයිප් එකේ සරල දේවල් විතරයි. මෙතනදී දෙන්නම මුහුණ දෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අර අතීතේ තිබුණු සම්බන්ධේ සීරියස් කමත් එක්ක දැන් කොහොමද නිකම්ම යාලු පිට් එකකට යන්නේ කියන එක. අන්න ඒ නිසා තමයි ප්‍රවේසම් වෙන්න ඕන. පැහැදිලිවම මතක තියාගන්න ඕන තවදුරටත් දෙන්නට දෙන්නා පෙම්වතුන් නෙවෙයි කියන එක. ඒ කියන්නේ යාලුවෝ නොකරන, පෙම්වතුන් කරන දේවල් තියෙනවනේ. ආන්න ඒවා කිරීමෙන් වළකින්න වෙනවා. උදාහරණයක් විදියට කෙල්ල යාලුවෝ එක්ක ඔ‍ෆිස් පාටි එකකට යනවා නං, ඉස්සර කලා වගේ කීයටද එන්නේ, කාත් එක්කද යන්නේ කියලා හොයලා බලන්න යන එක කේස්. ඉස්සර වගේ කොල්ලා ෆෝන් එක ආන්සර් කලේ නැත්තං, ඇයි මගේ කෝල් ආන්සර් නොකරන්නේ කියලා වලි දාගන්න එක කේස්. දෙන්නම දෙන්නට දෙන්නගේ අවකාශය දීලා තියන්න ඕන. දෙන්නට දෙන්නා වෙන කෙල්ලෙක් හෝ කොල්ලෙක් එක්ක සමීප සම්බන්ධතාවයක් පටන් ගත්තත්, ඒක තමන්ට බොන්න වෙන ප්‍රශ්නයක් නෙවෙයි කියලා ෂුවර් වෙන්න ඕන. එහෙම බැරි වෙනවා කියන්නේ පරණ ප්‍රේමය එක්ක යාලු පිට් හරියන්නෙ නෑ කියන එක!


3. පරණ කතා නොකරමු ආයෙත්

මෙන්න මේක බොහොම වැදගත්. ඒ කියන්නේ අපි කියමු සම්බන්ධතාවය ඉවර වුනේ රාවණ යුද්දේ ටයිප් එකේ වලියකින් කියලා. එහෙම නොවුනත් දෙන්නා වෙන් වෙන්නේ මොනවා හරි ප්‍රශ්න තිබුණු නිසානේ. දැන් යාලුවෝ විදියට ආස්සරේ කරන්න ඔය ප්‍රශ්න බලපාන්නේ නැති වෙන්න පුලුවන් ගොඩක් දුරට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පෙම්වතුන් විදියට දෙන්නත් එක්ක ඉන්න එක අමාරු වෙන වෙලාවක වුනත් යාලුවෝ විදියට ඉන්න එක අමාරු වෙන්නෙ නෑ. හැබැයි ඉතින් එහෙම වෙන්න නම් පරණ දේවල් අදින්නේ නැතුව ඉන්න ට්‍රයි කරන්න ඕන. සමහර වෙලාවට දරුණු පෙළඹීමක් එනවා සම්බන්ධේ ඉවර වුනේ තමන්ගේ වැ‍රැද්දෙන් නෙවෙයිය කියලා ඔප්පු කරන්න. අන්න ඒ වෙලාවට කට වහගෙන ඉන්න දැනගන්න ඕන. එතකොට සමහර වෙලාවක් එනවා අතීතේ ගැන කතාබහ ඇදිලා එන. අන්න එතකොටත් පරිස්සම් වෙන්න ඕන එකිනෙකාට චෝදනා කර නොගන්න, මෙහෙම කලා නම් අරම වෙන්න නොතිබුණා ජාතියේ කතා නොකියන්න. මොකද වුණු දේවල් වෙලා ඉවරයි. යාලුකම තියෙන්න ඕන නං දෙන්නගේ කැමති අකමැති හැම ගතිගුණයක්ම දරන්න පුලුවන් වෙන්න ඕන.

4. සීමාව පනින්න හදන්න එපා

මෙන්න මේක අතිශයින්ම වැදගත්. දැන් පෙම්වතුන් වෙලා ඉන්නවා කියන්නේ සාමාන්‍යයෙන් දෙන්නා අනුරාගී තලයකටත් යනවා කියන එකනේ. සමහර වෙලාවට ආදර සම්බන්ධෙට කණ කොකා හැඬුවට පස්සේ ආයෙමත් යාලුපිට් එකට යන්න ඕන කියලා හිතෙන්නේත් මේ ලැබුණු අනුරාගය නිසාම වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනි‍ෆිට්ස් ටයිප් එකේ සීන් පරණ ගෑල්ලමයා එක්ක, පරණ පිරිමි ළමයා එක්ක ඒ තරම් හරියන එකක් නෑ. ඒ කියන්නේ එක්කෝ දෙන්නා ආයෙමත් පෙම්වතුන් වෙලා, වැඩේ අලකරගෙන ෆ්‍රෙන්ඩ්ශිප් නැතුවම වෙන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතිනම් මේක තම තමන්ගේ පුද්ගලික ජීවිත වලට නරකට බලපාන්න ඉඩ තියෙනවා. ආන්න ඒ නිසා පරණ ලව් එකත් එක්ක යාලුවෙක් විදියට ඉන්න ඕන නම් මේ අනුරාගී පෙළඹවීම් මග අරින්න වෙනවාමයි. අඩු තරමේ තමන්ගේ අනුරාගී අතීතය ගැන කතාවත් නොකර ඉන්න පුලුවන් නම් වඩාත් හොඳයි.

5. අලුත් ලව් එකත් එක්ක පරිස්සමෙන් ගොඩදාගන්න ඕන


කෙල්ලෝ විතරක් නෙවෙයි, කොල්ලොත් පොඩ්ඩ ඇත්තං ඉරිසියා වෙනවා ලව් කරනකොට. දැන් ඔය මහ බඹා මැව්ව හැටි අපිට වෙනස් කරන්න බෑනේ. ඒ නිසා අපි දැනගන්න ඕන ප්‍රශ්න වෙන්න තියෙන ඉඩ වහන්න. උදාහරණයක් විදියට මෙහෙමයි. අපි කියමු උඩ තියෙන ස්ටෙප්ස් ඔක්කොම අනුගමනය කරලා පරණ පෙම්වතා හෝ පෙම්වතී එක්ක හොඳ යාලු පිට් එකක් ගොඩනඟා ගත්තය කියලා. දෙන්නම සිංගල් ඉන්න කල් ඕක ෂේප් එකේ යයි. හැබැයි තමන්ට අලුතින් පෙම්වතෙක් නැත්තං පෙම්වතියක් හම්බුණාට පස්සේ ඕකට පොඩ්ඩක් බාධක වැටෙන්න පුලුවන්. ඒක ඉතින් සොබාවිකයි. දැන් ඔය තත්වේ පුපුරන්නේ නැතුව තියාගන්න අපිට මොනවද කරන්න පුලුවන්?

එකක් තමයි තමන්ගේ ප්‍රමුඛතාවයන් හරියට තියාගන්න එක. උදාහරණයක් විදියට කෙල්ලව බලන්න යන එක කැන්සල් කරලා පරණ කෙල්ලට ‍ෆිල්ම් එකක් බලන්න ඕන කිව්වය කියලා පරණ කෙල්ල එක්ක යනවා කියන්නේ අලුත් කෙල්ලත් නැතිවෙන පොටක්. තමන්ගේ කොල්ලා එක්ක ඉන්න වෙලාවටත් පරණ කොල්ලා එක්ක ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා කියන්නේ ඇත්තටම අලුත් එකාට හිතෙනවනේ මේකිට වැදගත් වෙන්නේ මාවද පරණ එකාවද කියලා. අන්න ඒ නිසා තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ප්‍රමුඛස්ථානය දෙන්න ඕන. ඒ වගේම අවංකව හැමදේම කියනවා නං තවත් හොඳයි. හැබැයි තව දෙයක්. මේ කියන්නේ පරණ කෙල්ලට හරි කොල්ලට හරි කෝල් එකක් ගන්න ගන්න සැරේට අලුත් ලව් එකට කතා කරලා පර්මිෂන් ගන්න කියන එකත් නෙවෙයි. තමන්ගේ පුද්ගලික ජීවිතේ ලව් එක, යාලුවෝ වගේ දේවල් හොඳ කළමනාකරණයකින් පවත්ව ගන්න කියලයි මේ කියන්නේ.


6. පරණ ලව් එක කාලේ කරපු දේවල් අතීතෙම තියන්න

අපි කියමු පරණ ලව් එක තියෙනකොට දෙන්නත් එක්ක තනියෙන් හැන්දෑවේ බීච් එකට ගිහින් තුරුල් වෙලා ඉර බහින හැටි බලාගෙන ඉන්න ආස කලා කියලා. හැබැයි දැන් යාලුපිට් එක හදාගෙන ඉන්න වෙලාවේ ඕවා කරන්න යන එක මාරම කේස්. එකක්, යාලු පිට් එක ආයෙමත් පරණ ලව් එක පැත්තටම හැරෙන්න තියෙන ඉඩ වැඩියි. එහෙම නොවුනත් අතීතේ මතක් වෙලා හිත් රිද්දගන්න තියෙන ඉඩ වැඩියි.

අනෙක් කාරණාව තමයි තමන් අතර අලුත් රිලේෂන්ශිප් ඩයිනමික් එකක් හදාගන්න හොඳම විදියක් තමයි තව යාලුවෝ එක්ක එකට මුණගැහෙන එක. ඒ කියන්නේ එකට යන පික්නික් එකක්, කොන්සට් එකක් නැතිනම් දවල් කෑමක් වුනත් ෂේප්. හැබැයි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන තව දෙයක් තියෙනවා. තමන් දෙන්නා අතර තියෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන යාලු මිත්‍රයින්ව දැනුවත් කරලා තියන්න ඕන. එතකොට ඒකට නියම සපෝට් එකක් දෙන්නෙ නැති යාලුවන්ව පොඩ්ඩක් ඈතින් තිබ්බත් කමක් නෑ.


7. තව හිතන්න ඕන පොඩි පොඩි දේවල්

ආදර සම්බන්ධයක් වේවා, යාලු පිට් එකක් වේවා පොත බලාගෙන කරගෙන යන්න බෑ කියන එක අපිට තේරෙනවා. ඒ නිසා මේ උපදෙස් දේව වාක්කිය වගේ පොත බලාගෙන පිළිපදින්න ඕන නෑ. හැබැයි මේවා ඔලුවට දාගෙන සාමාන්‍ය දැනීම විදියට තියාගත්තහම වැඩේ හරි.

මූලිකම දේ තමයි දැන් යාලු පිට් එකක් තිබුණත්, ඉස්සර දෙන්නට දෙන්නා බොහොම ලඟින් හිටියනේ. ඒ කියන්නේ දෙන්නට දෙන්නා ගැන හැමදෙයක්ම දන්නවා කියන එක. කවදාවත් ඒ දැනුම නරකට යොදවන්න එපා. මොන වගේ තත්ත්වෙකදී වුනත් තමන් එකිනෙකා ගැන දන්න දේවල්, අතීතේ සිද්ධ වෙච්ච දේවල් පාවිච්චි කරන්න එපා.

ලව් එක කැඩෙන්නේ මොකක් හරි දෙයක් නිසානේ. හැබැයි මොන තරම් නරක දෙයක් සිද්ධ වෙලා ලව් එක කැඩුනත්, ආයෙමත් යාලුවෝ විදියට ඉන්න ඕන නම් එකිනෙකාට ගෞරව කරන්න ඉගෙන ගන්න වෙනවා. මේ ගෞරවය නැතුව නම් දෙන්නට අඟලක් වත් ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.

ගොඩක් වෙලාවට ලව් එක කැඩිලා පස්සේ ආයෙ යාලු පිට් ඇතිවුනත් සමහරු ඕක හිතේ තියාගෙන ඉන්නවා. ඉන් පස්සේ තමන්ට අලුත් ලව් එකක් හම්බවුණාට පස්සේ අර පරණ එක්කෙනාට “පෙන්නන්න” යනවා. ඒ කියන්නේ ඔයාට වඩා සිරා එකක් මට හම්බුණා, මේං කියලා! අන්න ඒවා වැරදියි. යාලුපිට් එකක් තියෙනවා කියන්නේ අනික් කෙනා ගැන තැකීමක් තියෙනවා කියන එකනේ. තැකීමක් තියේ නං ඔහොම ඒවා කරන්න හිතෙන්නේ නෑ.

අන්තිමට, පරණ කෙල්ල හෝ කොල්ලා එක්ක යාලු පිට් එකක් ඇතිවෙනවා කියන්නේ ඒ අය ගැන අපිට හදවතින්ම සතු‍ටු වෙන්න පුලුවන් වෙන්න ඕන. ඒ අය අලුත් ආදරයක් හොයාගත්තත් ඒ ගැන සතු‍ටු වෙන්න, සුබ පතන්න අපිට පුලුවන් වෙන්න ඕන. එහෙම හදවතින්ම සතු‍ටු වෙන්න බැරි නම් අපි යාලු පිට් ඇතිකරගන්න මහන්සි වෙන එකේ තේරුමකුත් නෑ.

- aniwa.lk





gossip lanka