හැමදාම හදන්නෙ බටර් කේක්ද? මෙන්න උත්සවෙන් උත්සවේට වෙනස් වෙන කේක් වර්ග 11…

අපි ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ උත්සව සමරනව. ආගමික, සංස්කෘතික උත්සව,  ජීවිතේ නොයෙක් ජයග්‍රහණ, උපන්දින, මංගල දවස, සංවත්සර වගේ බොහොමයක් දේවල්. සැමරුමක් කිව්ව ගමන් අපිට මුලින්ම මතක් වෙන්නෙ කේක් එකක්. කේක් එකක් නැතුව දෙයක් සමරන්නෙ

කොහොමද නේද? හැම අවස්ථාවටම හදන්නෙ එකම කේක් එක නෙවෙයිනෙ.  අපි කල්පනා කලා විවිධ අවස්ථා සහ ඒවා සමරන්න භාවිතා කරන කේක් ගැන චුට්ටක් හොයල බලන්න.

1. බේබි ශවර්

මේක නම් ලංකාවට අළුත් සැමරුමක්. ඉස්සර නම් දරුවෙක් ලැබෙන්න ඉන්න එක උත්සවයක් තියල සමරපු කාරණයක් නෙවෙයි කොයි තරම් සතුටුදායක ආරංචියක් උනත්. දැන් දැන් මේක ලංකාවෙත් ප්‍රචලිත වේගෙන යන උත්සවයක්. කාන්තාවක්  මව් පදවිය ලබන්නට සූදානම් වීම තමයි මේ උත්සවයෙන් සමරන්නෙ. ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියන එක දන්නව නම් මේ අවස්ථාවට යොදාගන්න කේක් එක හුඟක් වෙලාවට ඒ වර්ණයන්ගෙන් සරසනව. දුවෙක් නම් රෝස පැහැයෙන් පුතෙක් නම් නිල් පැහැයෙන් කේක් එක හැඩ වැඩ කරනව. ඒ බවක් දන්නෙ නැත්නම් කොල පාට දම් පාට වගේ වර්ණ භාවිතා කරනව. බොහෝ දුරට වැඩි පුර සුදු පැහැයත් අනෙක් වර්ණ ලා පාටිනුත් යොදාගත් චාම් ඩෙකරේශන් එකක් මේ අවස්ථාවට හුඟක්ම ගැලපෙනව.

2. වෙඩින් කේක් ස්ට්‍රක්චර්

වෙඩින් කේක් වර්ග දෙකක් තියෙනව. එකක් තමයි අර අයිසිං වලින් කවර් කරල තට්ටු තට්ටු උසට හදන කේක් එක. කේක් කිව්වට ඉතින් ඕකෙ කේක් තියෙන්නෙ පුංචි කොටසක් විතරයි. අනිත් ටික ඉතින් අයිසින් කවර් කරපු රිජිෆෝම් කියල කට්ටිය දන්නවනෙ. සම්ප්‍රදායෙ හැටියට නම් ඔය හදන කේක් එක සම්පූර්ණයෙන් කේක් වලින් හදල මංගල උත්සවයට එන අමුත්තන්ට බෙදන එක. පිට රට වල නම් තාමත් ඒක එහෙම්මම ඉටු කෙරෙනව. ලංකාවෙ කවදා කොහොම ඔය කේක් එකට රිජිෆෝම් ආදේශ උනාද කියන එක නම් ප්‍රශ්ණයක්. දැන් ඔය ස්ට්‍රක්චර් එක හදන්නෙත් වෙඩින් එකේ තීම් එකට අනුව. ඒ කියන්නෙ පරණ විදියට මනමාල ජෝඩුවකගෙ අනුරූප දෙකක් තියල මල් වලින් සරසලම නෙවෙයි. වෙඩින් තීම් එකට අනුව කේක් එකේ සැරසිලිත් වෙනස් වෙනව.

3. වෙඩින් කේක්

මේ තමා අනිත් වෙඩින් කේක් එක. වෙඩින් එකට මාසෙකට කලින් ඉඳන් තමයි මේක හදන්න ගන්නෙ. වියළි පළතුරු කජු එහෙම යහමින් දාල පැණි සහ මද්‍යසාර එහෙම එකතු කරල මාසයක් පැහෙන්න තියල හදාගන්න මේ කේක් එකට බොහෝමයක් දෙනා මනාපයි. පැණි රසෙන් වැඩි නිසා සහ පලතුරු වැඩි පුර දාල හදන නිසා මේ කේක් එකෙන් බොහොම පොඩි කෑල්ලක් තමා ලස්සනට ඔතල කරල වෙඩින් එකට එන අයට බෙදන්නෙ.

4. ලව් කේක්

බර්ගර් ජාතිකයන්ගෙන් උරුම වෙච්ච කේක් එකක් හැටියටයි මේ කේක් එක හඳුන්වන්නෙ. රුලං, පිටි සහ වෙඩින් කේක් එකට වගේම පලතුරු සහ කජු යහමින් දාල හදන ලව් කේක් එකත් ගොඩක් කන්න බැහැ. හැබැයි ඒ වගේ කාලයක් පැහෙන්න තියන්නෙ නැතුව මේක ලේසියෙන් හදාගන්න පුළුවන්. රිච් කේක් එකක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්.

5. ක්‍රිස්මස් කේක්

වෙඩින් කේක් සහ ලව් කේක් ගණයටම වැටෙන ක්‍රිස්මස් කේක් එකත් වෙඩින් කේක් එක වගේම මාසයක් පමණ පැහෙන්න අරිනව. එංගලන්ත සම්ප්‍රදායට අනුව නම් නොවැම්බර් මාසෙ විසි ගණන් වල තමා මේ කේක් එක හදන්න නත්තල් සමරන අය මුල පුරන්නෙ.

6. උපන් දින කේක්

උපන් දිනේකට කේක් එකක් තිබ්බෙ නැත්නම් ඒක උපන් දිනයක් නොවෙන ගාණටම කේක් සහ උපන් දිනේ එකට බැඳිල. අළුත් ස්ටයිල් එක ඉටිපන්දම් වෙනුවට ෆයර් වර්ක් එකක් තමා දැන් බර්ත්ඩේ කේක් එකට එන්නෙ. සම්ප්‍රදාය නම් උපන් අවුරුදු ගාණට හරියන්න පුංචි ඉටිපන්දම් කේක් එක ගහල පත්තු කරල ඒ ඉටිපන්දම් නිවන ගමන් බර්ත් ඩේ විශ් එකක් කරන එක. පස්සෙ පස්සෙ අවුරුදු ගාණට ඉටිපන්දම් ගහන්න නම් එන්න එන්න කේක් එකේ සයිස් එක ලොකු කරන්න වෙන නිසා ඉලක්කම් හැඩේට හදපු ඉටිපන්දනුත් ප්‍රචලිත වුනා. දැන් තියෙන ෆයර් වර්ක් එක නිවන්න බෑ නිවෙනකම් ඉන්න ඕනෙ. එහෙම්මම බර්ත් ඩේ විශ් සම්ප්‍රදායත් නැති වෙලා ගිහින් කියලයි හිතෙන්නෙ.

7. යූල්ලොග් කේක්

මේකත් නත්තල් කාලෙට හදන සම්ප්‍රදායික කේක් එකක්. ස්පොන්ජ් කේක් රෝල් එකක් චොකලට් බටර් ක්‍රීම් වලින් කවර් කරන් හදන මේ කේක් එකේ රෙසපිය 17වන ශතවර්ෂෙට අයිති උනත් යූලොග් එකේ ඉතිහාස කතාව යුරෝපයේ මධ්‍යතන යුගය දක්වා දිව යනව. මේ කේක් එක වඩාත්ම ප්‍රචලිත උනේ 19 වන සියවසේදි කියලයි කියන්නෙ. හිම වැටුණ ගහක අත්තක් හැටියට හැඩ වැඩ කරන මේ යූලොග් කේක් එක නත්තල් කාලෙට බොහොමයක් ගෙවල් වල හැදෙනව.

8. ඇනිවසරි කේක්

එක එක සංවත්සර තියෙනව. මේ මොන සංවත්සරේකට කේක් එකක් හැදුවත් සමරන්නෙ කීවෙනි සංවත්සරේද කියන එක අනිවාර්යෙන් කේක් එකේ සටහන් කරනව. ආයතනයක වගේ නම් ඒ ආයතනයේ ලාංඡනය සහිතවද විවාහ සංවත්සරයක වගේ නම් යුවලගේ නම් දෙකද සහිතව සුභ පැතුමක් කේක් එකට ඇතුලත් වෙනව.

9. සිංහල අවුරුදු කේක්

සිංහල අවුරුදු කෑම මේසෙට කේක් කියන්නෙ අළුතෙන්ම එක් වෙච්ච සාමාජිකයෙක්. බටර් කේක් එකක් වැඩිම උනොත් චොකලට් කේක් එකක් තමා මෑත කාලීනවත් අවුරුදු මේසයට අපේ අය තිබ්බෙ. දැන් ඒ තත්ත්වෙ වෙනස් වෙලා. බුලත් කොලේ හැඩේට එහෙමත් නැත්නම් කිරි ඉතිරෙන කිරි මුට්ටියක අනුරූ හදපු ලස්සන ලස්සන අයිසිං කේක් අවුරුදු මේසේ හැඩ කරන්න ඇවිත්.

 10. ගැටෝ

ප්‍රංශ භාශාවෙන් ගැටෝ කියන්නෙත් කේක් වලටමයි. ඒත් සාමාන්‍ය කේක් එකකින් ගැටෝ එකක් වෙනස් වෙන විදි කීපයක්ම තියෙනව. නැවුම් පලතුරු සහ විප් ක්‍රීම් වලින් සරස ගන්න ගැටෝ එක අනිවාර්යෙන්ම තට්ටු එහෙමත් නැත්නම් ලේයර් කීපෙකට හෝ අවම වශයෙන් දෙකකට තමා හදන්නෙ. ඒ තට්ටු අතරට පලතුරු, විප් ක්‍රීම් ෆ්‍රොස්ටින් දාල ටිකක් උසට හදාගන්න ගැටෝ එක අතුරුපසක් හැටියටයි ගැනෙන්නෙ.

11. Designer Cakes

මේ කියපු උත්සව සහ අවස්ථා වලට අමතරව අපිට කේක් එකක් ඕන වෙන තව තව අවස්ථා වර්තමානයේ ඕන තරම්. බැච්ලර් පාටි, හෙන් පාටි, බ්‍රයිඩ්ල් ශවර්ස්  වගේ එකී මෙකී නොකී හැම දේකටම පාටියක් දාන එකත් ඒ වෙනුවෙන්ම හදපු කේක් එකක් කපන එකත් විලාසිතාවක් වෙලා. මේ වගේ අවස්ථා වලට තමයි මේ කියපු ඩිසයිනර් කේක් ඕන වෙන්නෙ. මොකද මේ අවස්ථා වෙනස් නිසා සහ එහෙම අවස්ථා වලට අවශ්‍ය වෙන්නෙ වෙනස්ම විදියක කේක් නිසා තමන්ගෙ අවශ්‍යතාවය කියල හදවගන්න ඕනෙ.  මේ තියෙන්නෙ එහෙම ඩිසයිනර් කේක් හදන අයගෙ ඉන්ස්ටග්‍රම් අකවුන්ට් කීපයක්. ගිහිල්ලම බලන්නකො කේක් විලාසිතා ගැන. පහලින් සඳහන් වෙන්නෙ එහෙම හදන කේක් විලාසිතා වල අළුත්ම ට්‍රෙන්ඩ්ස් කීපයක්.



Printed Cakes
මේ වගේ උත්සව වලට හදන කේක් ඩිසයින් ට්‍රෙන්ඩ්ස් කීපයක්ම තියෙනවා. ලංකාවෙ අළුතෙන්ම තියෙන ට්‍රෙන්ඩ් එක තමයි ප්‍රින්ටඩ් කේක්. එඩිබල් ප්‍රින්ට් එකකින් ඔයාලට ඕනෙම පින්තූරයක් කේක් එකකට ගන්න පුළුවන්. Everybody loves Cupcakes සහ Print a Cake Sri lanka කියන්නෙ ලංකාවෙ එහෙම එඩිබල් ප්‍රින්ටින් කරගන්න පුළුවන් තැන් දෙකක්.

Metallic Cakes
මෙටලික් කේක් කියන්නෙ ඒ වගෙම තවත් කේක් ට්‍රෙන්ඩ් එකක්. මෙටලික් ලුක් එකක් එන විදියට අයිසිං එක පේන්ට් කරන එක තමයි මෙතනදි වෙන්නෙ.

Naked Cakes
නේකඩ් කේක් ඩිසයින් අළුත්ම විලාසිතාව. නීට් එකට අයිසිං වලින් කේක් එක වහන්නෙ නැතුව ලස්සනට හදපු කෙක් එකක් අයිසිං නොකර ලේයර් කරල තට්ටු තට්ටු තියාගත්තු කේක් එකක්.

Painted Cakes
පේයින්ටඩ් කේක් එහෙමත් නැත්නම් පින්තාරු කල කේක් එකක් හදාගන්න නම් පොඩි කලා හැකියාවක් ඕනෙ. කේක් එක මතුපිට චිත්‍රයක් ඇඳින එක තමයි මේ විලාසිතාව.

Ombre Cakes
ඕම්බ්‍රෙ කේක් එකකදි වෙන්නෙ එකම වර්ණයේ විවිධ ශේඩ්ස් වලින් කේක් එක ඩෙකරේට් කරන එක.  කේක් එකේ ඇතුලත තට්ටුත් ඒ ආකරයටමයි සකස ගන්නෙ. වර්ණය ක්‍රමයෙන් අඩු හෝ වැඩි වෙන ආකාරයට තමයි මේ කේක් එක සරස ගන්නෙ.

Geometric Cakes
ජ්‍යාමිතික හැඩතල වලින් සරසන කේක් විලාසිතාවකුත් තියෙනව. කොටු, ත්‍රිකෝණ, පංචාස්‍ර වගේ ජ්‍යාමිතික හැඩ වලින් තමයි මේ කේක් එක අලංකාර කරගන්නෙ.

- aniwa.lk



gossip lanka