පරණ තාලෙටයි අළුත් තාලෙටයි වෙනස්ම විදියකටයි පාන් පුඩින් හදමුද? මෙන්න අපෙන් රෙසිපි

පාන් පුඩින් කියන්නෙ අනාදිමත් කාලයක් තිස්සෙ අපේ ලංකාවෙ ගෙවල් වල කලින් දා හවසට ගෙනල්ල ඉතුරු වෙන පාන් වලින් පහුවදා දවාලට හැදෙන අතුරුපසක්. සරලව කියනවනම් පරණ පාන් වලින් තමා මේ පාන් පුඩින් හදන්නෙ. සම්ප්‍රදායික පාන් පුඩින් පරණ පාන් වලින් කල්කිරි දාල හැදුවට අලුත් තාලෙට හදන්නෙ අලුත් පාන් වලින් ෆ්‍රෙශ් මිල්ක් දාලා
බ්ලෙන්ඩ් කරල. පරණ තාලෙ බ්‍රෙඩ් පුඩින් එකක් වෙනස් විදියකට හදන හැටි වගේම අළුත්ම තාලෙට බ්‍රෙඩ් පුඩින් එකක් හදන හැටිත් කියල දෙන්නයි ඔන්න අද අපි හිතුවෙ.

1. පරණ තාලෙට වෙනස් විදියට

මුලින්ම කියන්නම් පරණ තාලෙ පාන් පුඩින් එකක් පොඩි වෙනසක් කරල රසට හදාගන්න හැටි. කැමති නම් පරණ තාලෙටම පරණ පාන් ගන්න නැත්නම් අලුත් පාන් ගෙඩියකිනුත් මේක හදන්න තහනමක් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය


  1. පාන් රාත්තලක මැද කොටස
  2. කල්කිරි 500ml බෝතලයක්
  3. රටඉඳි 250g (ඇට ඉවත් කරගන්න)
  4. බිත්තර 8
  5. ලුණු චුට්ටක්
  6. සීනි රස අනුව


  • පාන් මැද කොටස පොඩියට අතින් කඩාගෙන පසෙකින් තියාගන්න.
  • බිත්තර වෙනම භාජනයකට කඩල දාගෙන කහමදය අයිනෙ තියෙන අර සුදුපාට කොටස ඉවත් කරගන්න. (පිළී ගඳ නොඑන්න පොඩි ටිප් එකක් මේක.)
  • බිත්තර වලට කිරි, සීනි සහ ලුණු එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. මේකට රටඉඳි ටික කුඩාවට කපල දාල කලවම් කරගන්න.
  • දැන් මේ කිරි සහ බිත්තර මිශ්‍රණය කඩාගත්තු පාන් වලට දාල පාන් ටික හොඳින් පෙඟෙනකම් කලවම් කරගන්න.
  • බටර් තවරාගත්තු බෝල් එහෙකට මේ මිශ්‍රණය දාලා ෆොයිල් එකකින් කවර් කරල ස්ටීම් කරගන්න විනාඩි 45ත් පැයත් අතර කාලයක්.
  • බේක් කරනව නම් අවන් ට්‍රේ එකට වතුර ටිකක් දාල පුඩින් භාජනේ ඒකෙන් තියල සෙල්සියස් 200ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 45ක් බේක් කරගන්න.
  • කැමති නම් රටඉඳි වෙනුවට වියලි මිදි, කජු වගේ කැමති දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ මුකුත් නොදාම හදන්නත් පුළුවන්.

2. අළුත් තාලෙට අලුත් විදියට

කලින් කීවා වගේ දැන් අලුත් තාලෙට බ්‍රෙඩ් පුඩින් හදන්නෙ බ්ලෙන්ඩ් කරල. ඒ කියන්නෙ පාන් කැබලි නැති වෙන විදියට. මේක බැලූ බැල්මට බ්‍රෙඩ් පුඩින් එකක්ද කැරමල් පුඩින් එකක්ද කියල කෙනෙක්ට හොයාගන්නත් අමාරුයි. අමුත්තෙකුට සංග්‍රහ කරන්න නම් කියාපු අතුරුපසක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන් ගෙඩියක මැද කොටස
  2. ෆ්‍රෙශ් මිල්ක් 500ml
  3. බිත්තර 6
  4. සීනි කප් 3/4
  5. වැනිලා තේ හැඳි 1 1/2
  6. කැරමල් කරගැනීමට සීනි මේස හැඳි 3
  7. වතුර ස්වල්පයක්
  8. ලුණු ස්වල්පයක්


  • බිත්තර, සීනි කප් 3/4, කිරි, වැනිලා, ලුණු සහ කුඩාවට කඩාගත් පාන් බ්ලෙන්ඩර් එකට දමා පාන් කැබලි නොහිටින විදියට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • සීනි මේස හැඳි 3 වතුර ස්වල්පයක් දමා කැරමල් කරගන්න. එය පුඩින් එක සාදන භාජනයේ අඩියට දමා නිවෙන්නට හරින්න.
  • එයට උඩින් සාදාගත් බ්‍රෙඩ් පුඩින් මිශ්‍රණය දමා ෆොයිල් එකකින් ආවරණය කර විනාඩි 45ක් ස්ටීම් කරගන්න.
  • අවන් කරනවා නම් පෙර පරිදිම සෙල්සියස් 200ට පෙර රත් කරන ලද උඳුනක වතුර තැටියක දමා විනාඩි 45ක් හෝ පැයක් බේක් කරගන්න.
  • මෙහි රස වෙනස් කරගන්න ඕනෙ නම් කුරුඳු කුඩු ටිකක් එක්ක කොකෝවා පව්ඩර් මේස හැඳි 4ක් එකතු කරගෙන චොකලට් බ්‍රෙඩ් පුඩින් එකක් හදාගන්නත් පුළුවන්.

3. වෙනස්ම විදියට ඇපල් බ්‍රෙඩ් පුඩින්

මොන මොන දේවල් දාල හැදුවත් සාම්ප්‍රදායික පාන් පුඩිම තමා කවදත් ලංකාවෙ අයට දිවට හුරු. වෙනසකටත් එක්ක මේ වගේ ඇපල් දාපු බ්‍රෙඩ් පුඩින් එකක් හදල බලන්න. එකම විදියට එකම රසට පොඩි නිවාඩුවක් දීල වෙනස් විදියට වෙනස් රසක් අත්විඳින්න.

මේ රෙසිපි එකේ තියෙන්නෙ මිල්ක්මේඩ් දාලා හදන හැටි මිල්ක්මේඩ් සහ උණු වතුර පාවිච්චි කරන්නෙ නැතුව ඒ වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් දාලත් මේ පුඩින් එක හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය


  1. කොටු කපා ගත් පාන් කප් 4
  2. මිල්ක්මේඩ් පොඩි ටින් 1
  3. රතු ඇපල් ගෙඩි 3 (කුඩා කොටු කපාගත්)
  4. උණු වතුර කප් 1 3/4
  5. බිත්තර 3
  6. වැනිලා තේ හැඳි 1
  7. කුරුඳු කුඩු පින්ච් එකක්
  8. වියලි මිදි කප් 1/2



  • බිත්තර ටික හොඳින් බීට් හෝ බ්ලෙන්ඩ් කරගන්න. එය වෙනම බඳුනකට දමා ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එයට එක් කර පාන් කැබලි හොඳින් පෙඟෙන තුරු මිශ්‍ර කරගන්න.
  • බටර් තවරාගත් අඟල් 9×9 බේකින් තැටියක දමා සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 50ක් බේක් කරගන්න.



gossip lanka