සැලෝන් එකෙන් ඕන දේ වෙන්නෙ නැත්නම් ගෙදරදීම ඇහිබැම සකස් කරගන්න අපෙන් ටිප්ස් 10ක්

දේදුණු දෙබැම ගැන ඉස්සර කවියො කවිත් ලිව්වලු… තියෙන ඇහිබැම ගලවල අයිබ්‍රව් පෙන්සිල් එකකින් ඇඳගත්තට දේදුණු දෙබැමක් හදාගන්න බැහැ. අපේ ඇහි බැම විවිධාකාරයි. එකිනෙකාගෙ මූණු වලට උපතින්ම ලැබිල තියෙන ඇහිබැම එකිනෙකට වෙනස්. ඒ වගෙම
සමහරුන්ට ඝණව පිහිටල තිබ්බට සමහරුන්ට තියෙන්නෙ තුනී ඇහිබැමක්.

හුඟක් වෙලාවට ගෑනු ලමයි පුරුදු වෙලා තියෙන්නෙ සැලෝන් එකකට ගිහින් ඇහි බැම හදාගන්න. ඒත් එහෙම කරගන්න සමහර වෙලාවලට තමන්ට ඕන විදියට හැදෙන්නෙ නෑ වගේම ඒ හදල තියෙන හැටි ඔයාගෙ මූණට නොගැලපෙන විදියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ට ගැලපෙන හැඩයට ඇහි බැම ගෙදරදීම හදාගෙන ත්‍රෙඩ් කරගන්න සැලෝන් එකකට යන එක වඩා සුදුසු වෙයි.

තුනී ඇහි බැමක් තරමක් ඝණ කරගන්න වගේම ඝණට තියෙන ඇහි බැමක් ලස්සනට හදාගන්න හැටි අපි අද පොඩ්ඩක් දැනගමු.

1. ඇහි බැම පීරා ගන්න

අයිබ්‍රව් බ්‍රශ් එකක් නොමැති නම් පරණ මස්කාරා බ්‍රශ් එකක් පිරිසිදු කර ඇහි බැම සීරුවට පීරා ගන්න. ඒවායේ ස්වාභාවික පිහිටීමට අනුව පීරූ පසු අනවශ්‍ය කෙස් ඉවත් කරගැනීම වඩා පහසුයි.

2. ඇහි බැමේ හැඩය

අයිබ්‍රව් පෙන්සිල් එක ගෙන පින්තූරයේ ඇති පරිදි නාස් පුඩුවේ පිටත කෙලවර සහ ඇහි බැමේ ආරම්භය යා වෙන ලෙස තබා ඇහි බැමේ පටන් ගන්නා ස්ථානය ලකුණු කරගන්න.
දැන් නාසයේ පිටත කෙලවර මත පැන්සල තබා ඇහි බැමේ මැද යාවෙන පරිදි තබා එහි මැද ලකුණු කරගන්න.
දැන් නාස් පුඩුවේ කෙලවරත් ඇහි බැමේ කෙලවරත් යා වෙන ලෙස පෙන්සිල් එක තබා ඇහිබැමේ අවසානය ලකුණු කරගන්න.

3. ඇහි බැමේ මහත තීරණය කරන්න

ඔයා ඇහි බැමේ ප්‍රධානම ස්ථාන තුන සලකුණු කරගත්තනෙ. දැන් ඇහි බැමේ මහත ඔයාගෙ කැමත්ත පරිදි තීරණය කරගන්න. වඩාත් හීනි නොවන වඩාත් මහත නොවන ඇහි බැමක් ඕනෑම යුවතියකට ගැලපෙනව.

4. හැඩය ඇඳගන්න

සලකුණු කල ලකුණු යා කරන ඔයාගෙ ඇහි බැමේ හැඩය ඇඳගන්න. පටන් ගැන්ම අවසානය සහ මැද ඉස්සෙන්න අවශ්‍ය තැන (arch) ලකුණු කරන් මහත තීරණය කලාට පස්සෙ මේක බොහොම සරලව ඇඳගන්න පුලුවන්.

5. අනවශ්‍ය කෙස් ඉවත් කරන්න

ඇඳගත් හැඩයට පිටින් තියෙන අනවශ්‍ය රෝම ට්වීසරයකින් ඉවත් කරගන්න. ත්‍රෙඩ් කරන තරම් පිලිවෙලට ට්වීසරයකින් කරගන්න අමාරු උනත් මේ විදියට හැඩය හදාගත්තට පස්සෙ ඔයාලට සැලෝන් එකකින් ත්‍රෙඩින් කරගන්න බය නැතුව යන්න පුළුවන්.

6. අඩු පාඩු පුරවන්න

මේ විදියට හැඩ කරගත්තට ඇහි බැමෙ පුංචි පුංචි ස්වභාවික අඩු පාඩුකම් තියෙන්න පුළුවන්. ඒ දේවල් හරිගස්සන්න අපිට අයිබ්‍රව් පෙන්සිල් එකකින් ඇඳගන්න වෙනව. ඒත් පෙන්සිල් එකෙන් කෙලින්ම අදින්නෙ නැතුව බ්‍රශ් එකකින් අදින එක තමා වඩාත්ම සාර්ථක.

7. පිළිවෙලට පීරන්න

කලින් ඇහි බැම හැඩ කරගද්දි කලා වගේම ඔයා ඇහි බැමේ අඩු පාඩු පුරව ගෙන ආයෙමත් පිළිවෙලට පීරගන්න. විශේෂයෙන් ඝණ ඇහි බමක් ඇති යුවතියක් මෙය කලයුතුමයි.

8. වැස්ලීන් ආලේප කරන්න

මෙහෙම පිලිවෙලට ඇහිබැම පීර ගත්තට හුඟක් වෙලාවට ඒ පිලිවෙල වැඩි වෙලා තියෙන්නෙ නෑ. ඒ නිසා වැස්ලීන් ස්වල්පයක් කුඩා බ්‍රශ් එකකින් ආලේප කරගන්න. අකීකරු ඇහි බැම කීකරුව තියේවි.

9. විහිළුවක් නොවෙන්න නම්

සමහර යුවතියන්ගෙ ඇහි බැම දැක්කම අපිට හිනාවක් නැගෙන්නෙ ලස්සන නිසා නම් නෙවෙයි. ඇහි බැමේ හැඩය විහිළු සහගත නිසා. එක්කො හීනි වැඩියි නැත්නම් මහත වැඩියි. එහෙමත් නැත්නම් ආරුක්කුවක් වගේ රවුමට නැත්නම් තනි ඉරක් වගේ. නිතරම තමන්ව විහිළුවක් නොවෙන විදියට ලස්සන වෙන්න උත්සහ කරන්න. පෞර්ශය ඉහල නංවන දෙබැමක හිමිකාරියක් වෙන්න.

10. ඝණ ඇහිබැමක් ලබාගන්න ගෙදරදීම සත්කාර

තුනී ඇහි බැම ඇති යුවතියකට ඝණ ඇහිබැමක් ලබාගන්න ගෙදරදීම කරගන්න පුළුවන් ස්වභාවික සත්කාර කීපයක්  තියෙනව.


  • එඬෙරු තෙල් ආලේපය

එඬෙරු තෙල් ස්වල්පයක් ඇඟිලි තුඩින් ගෙන ඇහි බැමෙහි ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. රාත්‍රී නින්දට පෙර මෙම සත්කාරය දිනපතා කරන්න. පසුදා උදෑසන මෘදු ෆේස්වොශ් එකකින් සෝදා හරින්න.

  • වැස්ලින් ආලේපය

ඇහි බැම පිළිවෙලට තියාගන්න වගේම වැඩෙන්නත් වැස්ලීන් උපකාර වෙනව. මෙයත් රාත්‍රී නින්දට පෙර ආලේප කර පසුදා උදෑසනට සෝදා හරින්න.

  • උළුහාල් සහ කරපිංචා

පෙඟෙන්න තබා ගත් උළුහාල් ස්වල්පයක් කරපිංචා කොළ කීපයක් වතුර ටිකක් මිශ්‍ර කර තලපයක් සාදාගන්න. රාත්‍රී නින්දට පෙර ආලේප කර පසුවදා සෝදා හරින්න. සතියකට දින 3ක් කිරීම ප්‍රමාණවත්.

  • කෝමාරිකා අලේපය

කෝමාරිකා මදය ඇහි බැම මත ආලේප කර රැයක් තබා පසුවදාට සාමාන්ය ජලයෙන් සෝදා හරින්න. දිනපතාම කල හැකි සත්කාරයක්.

  • බිත්තර කහ මදය

බිත්තර කහ මදය ගෙන ඇහි බැමෙහි ආලේප කර පැයක් පමණ තබා සෝදා හරින්න. දිනපතා කිරීමට සුදුසුයි.

  • ලූනු යුශ

රතු ලූනු හෝ බී ලූනු යුශ ඇහි බැමෙහි ආලේප කර පැය 3ක් හෝ 4ක් වියලෙන්න තබා සෝදා හරින්න. සතියකට දින 3ක් කිරීම ප්‍රමාණවත්.

- aniwa.lk


gossip lanka