වංචාකාරී සහකරුවෙක්, සහකාරියක් එක්ක ඊලඟට කරන්නේ මොනවද? අනිවාර්යයෙන්ම මේ කරුණු ගැනත් සිතන්න

ආදරේ කරන ඕනම කෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙන බොහෝම වේදනාකාරී දෙයක් තමයි තමන්ගේ ආදරවන්තයා නැතිනම් ආදරවන්තිය, බිරිඳ නැතිනම් සැමියා තමන්ට වංචා කරලා අහුවීම. දැන් මේ වංචා කළා කියන්නේ මොකද්ද කියලා තේරෙනවනේ. ඒ කියන්නේ වෙනත් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වලා අහුවෙන එක ගැන තමයි. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක් බොහෝම ආවේගශීලී වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. ගොඩක් වෙලාවට මිනීමැරුම්
වලින් මේ වගේ කතා කෙළවර වෙන අවස්ථාත් බොහෝමයි. හැබැයි එහෙම ආවේගශීලී වෙන එක නෙවෙයි පිළිතුර. ආවේගශීලී වීමෙන් තමන් පස්සේ පසුතැවෙන්න පුලුවන් ගොඩක් දේවල් තමන් අතින් සිද්ධ වෙන්න පුලුවන්. එහෙමනම් ඒ වගේ අවස්ථාවක කරන්න ඕන මොනවද?  ආන්න ඒ ගැන දැනගන්න තමයි මේ ලිපිය සාවධානව කියවන්න කියලා අපි කියන්නේ.

1. පොඩ්ඩක් තනි වෙන්න

තමන්ගේ සහකරුවා හරි සහකාරිය හරි වංචා කළා කියලා දැනගන්න එක පොඩි පහේ වේදනාවක් නෙවෙයිනේ. සමහර විට මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ වරදින් වෙන්නත් පුලුවන්. හැබැයි ඒවා ඔය වගේ වෙලාවක ඔලුවට එන්නෙ නෑ. ඒ නිසා මූලිකවම කරන්න ඕන දේ තමයි තමන්ගේ සහකරුවා හෝ සහකාරිය නැතුව පොඩ්ඩක් තනියෙන් හිත නිදහසේ කල්පනා කරන්න පුලුවන් තමන්ගේ අවකාශයක් හොයාගන්න එක. හැබැයි මතක තියාගන්න, ඒ තැන බාර් එක නෙවෙයි, කෝච්චි පාරත් නෙවෙයි.

2. හිත නිදහස් කරගන්න

සාමාන්‍යයෙන් අපි ඉන්න දැඩි ආවේගය පහවෙන්න සෑහෙන්න වෙලාවක් යනවා. ඒක වළක්වන්න බැහැ. මෙතනදී අපිට තනි නොවී මිතුරෙක් එක්ක කතා බහ කරන්න පුලුවන් නම් හොඳයි. හැබැයි බොහොම මධ්‍යස්ථ මිතුරෙක්. එතකොට උපදේශන සේවයක් ලබාගත්තත් වරදක් නැහැ. මේ මොන දේ වුනත් සිහියේ තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. මෙතනදී විශ්වාසය කඩලා තියෙන්නේ ඔබ නොවෙයි, ඔබේ සහකරුවා හෝ සහකාරියයි. ඒ නිසා මෙතනදී නැවත විශ්වාසය ඇතිකරගන්නවාද නැද්ද කියන එක හිතලා බලන්න වෙනවා. හැබැයි හිත පොඩ්ඩක් සන්සිඳුනට පස්සේ. ඒ නිසා හිත සන්සිඳුවා ගන්න එක තමයි මූලිකම කාරණාව

3. ප්‍රශ්නේ දිහා බලන්න

මෙතනදී අපිට තුන්වෙනි පුද්ගලයෙක් විදියට අපේ ප්‍රශ්නේ දිහාම බලන්න වෙනවා. සමහර විට ප්‍රශ්නයේ වැරදිකාරයා දෙන්නම වෙන්න පුලුවන්. කොහොමත් සහකරුවා හෝ සහකාරිය අතින් වැ‍රැද්දක් වෙලා තියෙනවනේ. හැබැයි දැන් විශ්වාසය මෙතනින් එහාට තියනවාද නැද්ද කියන එක තීරණය කරන්න කලින් හිතලා බලන්න ඕන වැ‍රැද්ද කොතනද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අනියම් සම්බන්ධතා ඇතිවෙන්න දෙපැත්තෙන්ම කටයුතු සිද්ධ වෙනවා. අපි අතින් සහකරුවෙක්/සහකාරියක් විදියට වෙන්න ඕන දේවල් ඉ‍ටු නොවීම, ඇහුම්කන් නොදීම එහෙමත් නැතිනම් අපිත් වංචා කරලා තිබීම වගේ හේතු මෙතන තියෙන්න පුලුවන්. ඉතින් මූලිකවම තමන්ගේ සහකරුවා හෝ සහකාරිය කරපු වංචාවේ ස්වභාවය වටහා ගන්න එක වැදගත්.

4. අවංක කතාබහක්

ඔබ විශ්වාසය ආයෙමත් ඇති කරගන්න තීරණය කලත්, ආයෙමත් විශ්වාසයක් නෑ කියලා හිතුවත් මෙතනින් එහාට යන්න නම් අනිවා මේ කතාබහ ඇතිවෙන්න ඕනමයි. හැබැයි ආවේගශීලී කතාබහක් නෙවෙයි. බැණ අඬගහා ගැනිල්ලක් නෙවෙයි, එකිනෙකාට චෝදනා කරගැනිල්ලක් නෙවෙයි, අවංක කතාබහක්. මෙතනදී තත්ත්වය උණුසුම් නම් ඒ කියන්නේ තවමත් අවශ්‍ය සංහිඳියාව ඇතිවෙලා නැහැයි කියන එක. හැබැයි එකක්. මේ කතාබහට එන්න කලින් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන්ට වංචා කලා කියන එක ගැන පැහැදිලි සාක්ෂි අනිවා තිබිය යුතුයි. එහෙම නැතිනම් වෙන්නේ ඒ පැත්තෙන් කියන බොරු වලට මේ පැත්තේ කට උත්තර නැතුව බලාගෙන ඉන්න වෙන එක. හැබැයි සිදුවුණු දේ ගැන අවංකවම කණගා‍ටු වෙන, කොයි පැත්තට හරි ඒ සිදුවුණු දෙය නිවැරදි කරගන්න හිතන පාට්නර් කෙනෙක් එක්ක එහෙම සාක්කි අවශ්‍ය වෙන්නෙ නෑ.

දැන් මේ කතාබහේදී සාකච්ඡා වෙන්න ඕන සිද්ධ වුනේ මොකක්ද, ඇයි එහෙම වෙන්න හේතු, අපි ඉදිරියට යන්නේ කොහොමද කියන දේවල්. සමහර වෙලාවට දරුවෝ, සමාජේ වගේ දේවල් නිසා දෙන්නට තවත් දුරක් යන්න සිද්ධ වෙන්න පුලුවන්. හැබැයි එහෙම යනවා නම් ආයෙමත් විශ්වාසය ගොඩනඟාගන්න වැඩ කරනවා කියලා ඔබේ පාට්නර්ට අදහසක් තියෙන්න ඕන. එතකොට එහෙම සැබෑ වුවමනාවකින් කටයුතු කරනවාය කියලා පෙනුනොත් ඒ විශ්වාසය ප්‍රදානය කරන්න ඔබට හැකියි කියලාත් ඔබට අදහසක් තියෙන්න ඕන.

5. තව පාරක් එහෙම කළොත්?

තමන්ගේ සහකරුවා හරි සහකාරිය හරි වංචා කරලා අහුවුනොත් ඇතිවෙන මූලිකම ගැටළුව තමයි මේක. ආයෙමත් පාරක් එයා මට වංචා නොකරාවිද කියන එක. මෙන්න මේක බොහොම සංවේදී කාරණාවක්. ඇත්තටම මෙතනදී ආයෙමත් යන්න වෙනවා වංචාවේ ස්වභාවය වටහා ගැනීමට. ඒ කියන්නේ ඈ හෝ ඔහු ඔබට වංචා කරන්නේ සෙක්ස් හරි වෙන දේක හරි අඩුපාඩුවක් නිසා නම්, සමහරවිට ඔබ ඒක හදාගත්තොත් ප්‍රශ්නේ එතනින් එහාට ඇතිවෙන්නේ නැතිවෙයි. එහෙම නැතිනම් ගොඩක් වෙලාවට අනියම් සම්බන්ධයක හරය වෙන්නේ සෙක්ස් නෙවෙයි, ඊට වඩා ඉමෝෂනල් සපෝට් එකක් ඔබේ පාට්නර්ට අවශ්‍ය වීම සහ එය ඔබෙන් නොලැබීම. එතකොට ඒක වටහාගෙන ගෘහ ජීවිතය වෙන්න ඕන විදියට සම්පූර්ණ කරගන්න ඔබ දෙන්නාට පුලුවන් වුනොත් ඔබේ පාට්නර්ට තව පාරක් චීට් කරන්න වුවමනාවක් ඇති වෙන්නෙ නැහැ. හැබැයි මෙතනදී ඔබ බොහොම සුපරීක්ෂාකාරී වෙන්න ඕන. මොකද සමහර වෙලාවට ඔබේ පාට්නර් ඔලුවේ අත ගහලා දිවුරන්න පුලුවන් ආයෙමත් ඒක වෙන්නෙ නෑ කියලා. හැබැයි ඒ මේ අවස්ථාවෙන් ගැලවෙන්න වෙන්න පුලුවන්. ඒත් එයා ඔබට චීට් කරපු හරි හේතුව හොයාගත්තොත් ඔබටම මේ “ආයෙමත් එහෙම වෙයිද” කියන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න පුලුවන්.

6. ජීවිතේ වෙනසක්? උපදේශන සේවාවක්?

මෙන්න මේක ඉතාමත්ම වැදගත්. මොකක්ද? ඔබ දෙන්නා ජීවිතේ ඉස්සරහට එකට ගෙනියන්න තීරණය කළොත්, ඔබ ඔබේ පාට්නර්ට හොරකම් කරලා හිරේට නියමවුණු හොරෙක්ට වගේ සලකන එක නවත්තන්න වෙනවා. මොකද සිදුවුණු අමිහිරි සිදුවීම දිගින් දිගටම ඇදගෙන ගියා කියලා, ඕන ප්‍රශ්නෙකට ඒක කෝන්තරේට තියාගත්තා කියලා ඔබටවත්, ඔබේ සහකරු/සහකාරියටවත් ලස්සන, වාසනාවන්ත, සාමකාමී ජීවිතයක් ගෙවන්න ලැබෙන්නේ නෑ. අන්න ඒ නිසා ඒ සිදුවීම එතනින් අවසන් කරන්න. ඔබේ පාට්නර්ට අවංකවම සමාව දෙන්න. දැන් ජීවිතේ වෙනසක් කරන්න. සමහර වෙලාවට ඔබ නොදැන සිදුවුණු සුළු අඩුපාඩුවක් නිසා මේ දේවල් වුනා වෙන්න පුලුවන්. ඒත් ඒ අඩුපාඩුව හදාගෙන නතර නොවී, දෙන්නගේ පවුල් ජීවිතේ ඒකාකාරීත්වය බිඳින්න. නවතාවයක් පවුල් ජීවිතේට එකතු කරගන්න. ඔබ දෙන්නාටම සතු‍ටු වෙන්න පුලුවන් ක්‍රියාකාරකම් ජීවිතේට එකතු කරගන්න.

අනෙක් කාරණාව, මේ වගේ සිදුවීමකින් ඇතිවන කම්පනය ඔබට තනියෙන් විසඳගන්න බැරි වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවක අතිශයින්ම සමීප හිතවතෙක්ට මිසක් වෙන කෙනෙක්ට ඒ ගැන කියන එකත් අපිට අනුමත කරන්න බැහැ. ඒ නිසා හොඳම දේ තමයි සුමිත්‍රයෝ වගේ උපදේශන සේවාවක් වෙත යොමුවෙන එක. එක්කෙනෙක් නෙවෙයි, දෙන්නම. සමහර වෙලාවට ඔබ දෙන්නාම නොදැන හිටපු අඩුලුහුඬුකම් එතනින් එලියට එන්න පුලුවන්. ඒවා පිළිසකර කරගත්තහම ජීවිතේ හිතාගන්න බැරි විදියට සුන්දර වෙන්න පුලුවන්.

7. බැරිමනම් වෙන් වෙන්න වෙනවා

මේක තමයි ඉතින් කණගා‍ටුදායක අවසානය. අපි කියමු ඔබේ සහකරු/සහකාරිය ආයෙමත් ඒ වගේ දෙයක් නොකරයි කියලා ඔබට අවංකවම ස්ථිර වෙන්න බැහැයි කියලා. එහෙම නැතිනම් එයා ඒ සම්බන්ධය නවත්වන්න කැමති නැහැයි කියලා. ඉතින් එහෙම දෙන්නාටම එකඟතාවයකට එන්න බැරි අවස්ථාවක් නම් ඇතිවෙලා තියෙන්නේ, කරන්න තියෙන හොඳම දේ තමයි සාමකාමීව, හැකිතරම් ප්‍රායෝගික විදියට දෙන්නා වෙන් වෙන එක. එතනදී අනිවා දෙන්නාටම නීති මාර්ගයට යන්න වෙනවා. හැබැයි එතනදී තමන්ට වගේම තමන් අවට ඉන්න අයටත් අඩුම බලපෑමක් එල්ල වෙන විදියට වෙන් වෙන එක තමයි කරන්න සිද්ධ වෙන්නේ.

- aniwa.lk

gossip lanka