එයාව අමතක කරන්න බැරිද? එහෙනම් මොකද කරන්නේ?

සමහර අවස්ථාවල අපේ ජීවිත වලට එන අය අපේ හිත ඇතුලේ බෝම්බ දාලා අපෙන් අයින් වෙලා යනවා ආපහු කවදාවත් නොඑන්නම. ඒක ඉක්මනින් අමතක කරන්න පුලුවන්නම් කිසිම අවුලක් නැහැ. හැබැයි එහෙම ලේසියෙන් එයාව අමතක කරන්න බැරි නම් පුතේ ඔයා වැටෙන්නේ එසේ මෙසේ අමාරුවක නෙවෙයි.

රේඩියෝ එකේ යන සින්දු ඔක්කොම ඔයාට කියනවා වගේ දැනේවි,
කියවන ආටිකල් වල, පත්තර වල මුල් පිටු වල ඉන්න කෙල්ලෝ/කොල්ලෝ එයා වගේ පෙනෙන්න ගනීවි. එච්චර ඕනේ නැහැ. හවසට ප්ලේන්ටියක් ගහනකොට අම්මා තාත්තා එක්ක කියන විස්තර වලත් අහල පහල කෙනෙක්ට මේ වගේ දෙයක් වුනා කියලා ඔයාගේ කතාව කියන්නත් ඉඩ තිබේවි.

1. ඇයි එහෙම වෙන්නේ?

අමුතු යමක් නැහැ යාළුවා, ලෝකේ වෙන දේවල් වෙන්නේ සාමාන්‍ය විදියටම තමා. ඒත් අපේ හිතේ අමතක නොවෙන මතකයක් ඉතුරු කරලා එයා අපෙන් දුරස් වෙලා ගියාම ඔයා අවට සිද්ධවෙන “හැමදෙයක්ම” ඔයාට සමපාත කරගන්නයි උත්සහ කරන්නේ. එය ඔයාගේ වරදක් නෙවෙයි. ඒ තමා මනුස්ස ස්වභාවයේ හැටි.

2. මං ඇබ්බැහි වෙලාද?

එක අතකට. එහෙම වෙන්නේ ඔබ එයාට ගොඩාක්ම ගොඩාක්ම ලංවෙලා සිටින නිසා. එයාට ඔයාටත් වඩා ඔයා එයාට ආදරේ කරන නිසා. සමහර විට ඔයාට එයා මෙතරම් ආදරේ කරනවා නොවෙන්න පුළුවන්. එහෙත් ඔයා අවංකවම ආදරේ කළා නම් මෙහෙම ඇබ්බැහි වෙන එක සාධාරණයි.

නමුත් අමතක කරන්න එපා, උවමනාවට වඩා ඇබ්බැහිවීමත් කරදරයක් බව.

3. මේකේ නරක පැත්තක් තියෙනවද?

ඔව්. නැත්තේ මොකද ඔය ඇබ්බැහි වීමෙයි, වෛරයෙයි තියෙන්නේ කෙස් ගහක වෙනසක්. සමහර විට එයා ගැන වෛරයෙන් යමක් කරන්නේ ආදරේ වැඩි වුනාම කියලා කියාවි. මේ නිසා තමන්ව හික්මවා ගන්න එක බොහොම වටිනවා.

4. මට එහෙම වෙන්නේ මම මෝඩ ආදරවන්තයෙක් නිසාද?

ආදරේ ඉස්සරහ කවුද පුතා හැඟීම්බර නොවෙන්නේ? නිදහසේ ඉන්න වෙලාවක කල්පනා කරලා බලන්නකෝ ආදරෙන් ආතුර වෙලා ඉන්නකොට අපි කියපු කරපු දේවල් මොනවද කියලා. ආදරේ කියන්නේ එහෙම දෙයක් තමයි. එහෙත් අපි මීට උඩින් කතා කරපු කාරණාව ගැන තව ටිකක් සාවධානව කල්පනා කළා නම් අපිට බොහොම බුද්ධිමත්ව මේ කාරණාව විසඳගන්න පුළුවන්,

මොකද අපිට පත්තරයක් බලනකොට වුනත් සමහර සිදුවීම් තිබෙනවා “අහිමි ආදරේ මතක් කර පෙම්වතා ගඟට පනියි” වගේ හෙඩ්ලයින්ස්. දැන් ඔයා හිතනවාද එහෙම කළා කියලා අර ඔයාගෙන් ඈත් වුන කෙනාට රිදෙයි කියලා, සමහර වෙලාවට එයා හිත යටින් තමන් ගැන හිතලා සතුටු වෙන්නත් පුළුවන්. ඇයි මෙහෙම ප්‍රශ්න වලින් පැනලා යන කෙනෙක් එක්ක ඉන්නේ නැතුව තමන් වෙනම ගමනක් පටන් ගත්තු එකට.

5. කොහොමද මේ ඇබ්බැහි වීම නවත්ත ගන්නේ?

හිත තමයි ප්‍රධානම. ඔයාට පොඩි හරි විශ්වාසයක් තියෙනවා නම් මෙයා තමයි ඔයාට ගැලපෙනම කෙනා සහ එයාත් හොරෙන් හොරෙන් වගේ ඔයා ගැන හොයලා බලනවා නම් පොඩි ට්‍රයි එකක් දුන්නට කමක් නැහැ.

එහෙම නැති නම් කරුණාකර ඔයා හිත හදාගන්න. කෙනෙක් තමන්ට අවශ්‍යම මොහොතක දාලා යනවා කියන්නේ එයා ගාව තියෙන්නේ ඇත්ත ආදරයක් නෙවෙයි මිත්‍රයා, සමහර විටක ඔයාට කියන්න බැරි මොකක් හරි හේතුවක් එයාට තිබ්බා වෙන්නත් පුළුවන්, ඒ වුනත් හේතුව කියලා යන්න අයිතියක් තියෙනවා.

6. තාම කිව්වේ නැහැ නේ බෙහෙත?

ඇයි මුලින් ම කිව්වේ හිත තමා ප්‍රධානම. හිත හදාගන්න බලන්න. හිත වෙනත් දේවල් වලට යොමු කරන්න අමතක කරන්න එපා. ඒ නිසා ඒ මතකේ අමතක කරන්න, යාළුවො එක්ක සෙට් වෙන්න (බෝතලේ එක්ක නොවෙයි), හොඳම යාලුවෙක් එක්ක මේ දේවල් කියල හිත නිදහස් කරගන්න, ට්‍රිප් යන්න, හිත බිසී කරගන්න, පොත් කියවන්න, ව්‍යායාම කරන්න, විශේෂයෙන් මහන්සි වෙලා අනාගතය ස්ථාවර කරගන්න බලන්න.

ඒ වගේම හැකිනම් තමන්ගෙ හැඟීම් ලියන්නත් උත්සාහයක් දාල බලන්න. ඒ කිවුවෙ ටයිප් කරල ෆේස් බුක් දාන එක නෙමේ. පරණ විදිහට ඩයරියක හරි පොතක හරි ලියලා නැවත නැවත කියවලා බලන්න. තමන්ගෙ සිතුවිලි තේරුම් ගන්නත්, ඉක්මනින් හිත හදාගන්නත් ඒක රුකුලක් වේවි.

7. පොඩ්ඩක් අඬන්නද?

අපි එපා කිව්වද? හිතේ තියෙන බර දුක ශෝකය සැනින් අඩු කරන්න හොඳම ක්‍රමයක් තමා හොඳට අඬන එක, එහෙම කලාම ඔය දුකෙන් වැඩි ප්‍රමාණයක් නිකම්ම හේදිලා යාවි. එහෙත් ලෝකෙට පෙනෙන්න අඬන්න එපා. ෆේස්බුක් ස්ටේටස් දදා අඬන්න යන්නත් එපා. ඒකෙන් වෙන්නෙ ඔයා අනිත් අයට විහිලුවක් වෙන එකයි. මේක රියලිටි ෂෝ එකක් නෙවෙයි. කාගෙන් වත් sympathy votes ලැබෙන්නේ නැහැ. ඒ කඳුළු තමන්ට විතරක් පෙනුණාම ඇති.

8. ජීවිත කාලෙම අඬ අඬ ඉන්න වෙයිද?

ලොකු ප්‍රශ්නයක් ආපු ගමන් කාටත් හිතෙන්නෙ මේ දුක ජීවිත කාලයක් තියේවි, ජීවිතේ පුරා අඬ අඬ, සුසුම් හෙලමින් ගත කරන්න වේවි කියල තමයි. ඒත් පොඩ්ඩක් අතීතේ විමසලා බැලුවොත් ඔයාට තේරුම් යාවි ඒ වගේ “ඔක්කොම විනාසයි” කියල හිතිච්ච ප්‍රශ්න කීයක්, දුක් කීයක් පහුකරගෙනද ඔයා ඇවිත් තියෙන්නේ කියලා. දැන් ඒ සමහර දේවල් ගැන හිතද්දි කිසිම දුකක්, වේදනාවක්, ලැජ්ජාවක් දැනෙන්නේ නෑ නේද? ඉතින් මේ කාරණේදිත් ඒක වෙනස් වෙන්නේ නෑ. කාලය විසින් මේ තුවාලත් අනිවා සුව කරන බව මතක තියාගන්න.

9. මතකයන් අමතක කරන්නෙ කොහොමද?

අපි කිවුවනෙ කාලය විසින් හැමදේම විසඳයි කියල. මතකයන් උනත් එහෙමයි. අද හිතට වේදනා ගෙන දෙන ආදර මතක තව ටික කාලෙකින් මතක් කරද්දි ඔයාට හිනා යන්නත් ඉඩ තියනවා. මේ විදිහෙ පිස්සුවකුත් කෙලියනේ කියල.  හැබැයි මේකෙදි ඔයාගෙ පැත්තෙන් වෙන්න ඕනෙ මෙහෙම දේකුත් තියනවා. ඒ තමයි ආපහු ජීවිතේට තමන්ව එපා කියල ගිය කෙනෙක්ගෙ මතක සටහන් එකතු කරගෙන, බදාගෙන කඳුළු පෙර පෙර ඉන්න එකෙන් ඈත් වෙන එක. ඒ දේවල් මුලින්ම ඔබේ කාමරයෙනුත්, ඉන්පසු ඔබේ ජීවිතේනුත් අයින් කරන්න. ඉතුරු සිහිවටන සහ මතකයන් ගැන කාලය බලාගනීවි.

10. අලුත් ප්‍රොජෙක්ට් එකකට මුල් ගලක් තියමුද?

තමන්ගේ පළමු ආදරේම ජීවිත කාලය පුරාවට සාර්ථක වෙන අය ඉන්නෙ ඉතාම ටික දෙනයි. ඒ නිසා පරණ මුල් ඇදපු මුල් ගල් ගලවලා අලුත් ප්‍රොජෙක්ට් එකට මුල් ගලක් තිබ්බට කමක් නැහැ. හැබැයි කෙල්ලෙක් හෝ කොල්ලෙක් ඕනෙ නිසා හරි අනිත් අයට පේන්න හරි සම්බන්ධෙකින් සම්බන්ධෙකට පනින්න යන්න එපා. ඒකෙන් අමාරුවෙ වැටෙන්නේ තමන්මයි.  මුලින්ම තමන්ගේ හිත හදාගෙන ඉන්න, ඒ වගේම කලින් සම්බන්ධෙ ඇතුලේ කරපු වැරදි එහෙම අඳුනගෙන ඉන්න.

මේ ආටිකල් එකෙන් හිත හදාගන්න ලැබුණානම්, එහෙම අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තු දවසක සෙල්ෆියක් එහෙම ගහලා මේ පොස්ට් එකේ කොමෙන්ට් එකක විදියට දැම්මට අපි මොකුත් කියන්නේ එහෙම නැහැ. හරිය?

ජීවිතේට ජයවේවා!

aniwa.lk




gossip lanka