එක එක කාලෙට එක එක එළවළු වර්ග වල මිල ගණන් ඉහළ යනවා. රුපියල් 10ට 20ට ගත්තු අමු මිරිස් ග්‍රෑම් 100 පහු ගිය කාලෙක රුපියල් 100ට මිල ඉහළ ගියා අපේ හිතවතුන්ට මතක ඇතිනෙ. වම්බටු, මාළු මිරිස් වගේ අපි එදිනෙදා නිතර භාවිතා කරන මේ එළවළු වර්ග ගෙදරම ඉඩ තියෙන හැටියට වවා ගන්න පුළුවන්නම් අපේ ආර්ථිකයට ඒක වාසියක් මිසක් අවාසියක් නම් වෙන්නෙ නෑ. මිදුලේ ලොකු ඉඩක් නැත්නම් හෝ ඔබ ජීවත් වෙන්නෙ තට්ටු නිවාසයක නම් ඔබට පුළුවන් මේ දේවල් පෝච්චියක සිටවන්න.
කොහොම කලත් තමන් අතින් හිටවපු ගහක පලදාවක් දකින එක හිතටත් සහනයක්. ආර්ථිකේ පැත්තෙන් වෙන වාසිය වගේම වස විස නැතිව ගෙදරම මේ දේවල් “organic” විදියට වවාගන්න පුළුවන්නම් වඩා හොඳ බවයි අපේ අදහස. දැන් කාලේ බොහොමයක් ලෙඩ රෝග වලට එක හේතුවක් මේ පළිබෝධනාශක සහ කෘතිම පොහොර යෙදූ එළවළු වර්ග. අපි අද කියන්න හදන්නෙ එහෙම වවාගත්තොත් ආර්ථිකයට වාසි වෙන සහ සෞඛ්‍යටත් වාසි වෙන එළවළු වර්ග කීපයක් ගැන තොරතුරු. බලන්න මේ දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වෙයිද කියල.
ගුණාත්මක බීජ ලබා ගත හැකි ස්ථාන පිළිබඳව ඔබට කෘෂි කර්ම දෙපාර්තුමේන්තුවේ මෙන්න මේ කාර්යාල වලින් වැඩි විස්තර ලබාගන්න පුළුවන්.
1. අමු මිරිස් වගාව
වත්තේ වගා කරගැනීමේ වාසිය
අමු මිරිස් කියන්නෙ කටට සැරට කාලා පුරුදු ලංකාවේ අපිට හොද්දකට නැතුවම බැරි දෙයක්.
සුදුසු කාලය සහ කාලගුණය
අමු මිරිස් පැළ කරන්න සුදුසුම කාලය හැටියට කියවෙන්නෙ දෙසැම්බර් හෝ මාර්තු අප්‍රේල් මාසය. වියළි කාළගුණයක් සමඟම වර්ශාපතනය යම් තරමකට පැවතීමත් මෙයට සුදුසු කාළගුණ තත්වයයි.
වගාවට සුදුසු වර්ග
දිලීර රෝග වලට වඩා හොඳින් ඔරොත්තු දෙන අරුනළු සහ එම් අයි හොට් වර්ග දෙක සාමාන්‍ය වගාවට වඩා පහසුයි. මේ වර්ග දෙකෙන් වැඩි අස් වැන්නක් සහ කෙටි කාලයකින් පලදාව ලැබීම විශේෂයි. අමු මිරිස් පහසුවෙන්ම වගා කරන්න පුළුවන් බෝගයක්. කොළ කොඩ වීම, සුදු මයිටාවන් පැතිරීම වගෙ පොඩි පොඩි ප්‍රශ්ණ ටිකක් තමයි මේකට හානි කරන්නෙ. හැබැයි සුළු පරිමාණෙන් ගෙදර භාවිතයට හදාගන්න කොට පළිබෝධ නාශක හෝ දිලීර නාශක නැතුව සබන් වතුර ටිකක් ඉහළා මේ කරදර නැති කරගන්න පුළුවන්.
වවන්න කලින් දැනගන්න
බීජ තවාන් කර පැල සිටුවනවා නම් පෝච්චියේ හෝ වගා කරන ස්ථානයේ පොළවට දින දෙකකට පමණ පෙර කොම්පෝස්ට් පොහොර යොදා පස සකස් කර පැල සිටුවන්න. පැල මෝරන තෙක් තද අව්වෙන් ආරක්ෂා කර පසෙහි හොඳ තෙතමනයක් රඳවා ගන්න. මල් එන කාලය වන විට ගසට හොඳ තෙතමනයක් ලබා දීම වැඩි අස්වැන්නක් ලබාගැනීමට වැදගත්.
2. වම්බටු වගාව
වත්තේ වගා කරගැනීමේ වාසිය
බටු මෝජුවක් හදාගත්තම ඕනෙම කෑම වේලකට උත්සව සිරියක් ගේනවා. හැබැයි එක කාලෙකට වම්බටු ගණන් යන්නෙ අපිට ඒවා කන එකත් එපා වෙන විදියට. ගහක් ගෙදරම හදාගත්ත නම් වම්බටු අපිට ගණන් උස්සන එකක් නෑ.
වගාවට සුදුසු වර්ග
එස්. එම් 164 හෝ පාදාගොඩ ප්‍රභේදයෙන් බීජ ලබා ගත්තා නම් වම්බටු වගාව නිතර මුහුණ දෙන බැක්ටීරියා රෝග වලට ඔරොත්තු දෙනවා. පණුවන් පලදාවට හානි කර එකට සහ පුස් රෝග වලට සබන් වතුර සාත්තුව මේකටත් හරි යනවා.
සුදුසු කාලය සහ කාලගුණය
බටු වගාවට සුදුසු කාලය හැටියට කියන්නේ මැයි සහ අගෝස්තු අතර කාලය. සාමාන්‍ය වර්ශාපතනයක් ඇති උශ්ණ කාලගුණයක් මේ සඳහා වඩාත් සුදුසුයි.
වවන්න කලින් දැනගන්න
දවස පුරා හොඳින් සූර්යාලෝකය වැටෙන ස්ථානයක් වම්බටු වගාවට සුදුසුයි. පසට ඉතා කිට්ටුවෙන් ඇති මුල් පද්ධතියක් ඇති නිසා අවශ්‍ය තෙතමනය ලබා දීම ගැන සැලකිලිමත් විය යුතුයි.
අමුමිරිස් වලට වගේම තවාන් කල පැල පෝච්චියේ හෝ පොළවේ සිටුවීමට දින 2කට පෙර පසට පොහොර යොදා සකස් කිරීම වැදගත්. වම්බටු වලට හොඳින් අව්වේ වියලා ගත් ගොම පොහොර යෙදීමෙන් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි.
3. මාළු මිරිස් වගාව
වත්තේ වගා කරගැනීමේ වාසිය
පහසුවෙන් වගා කරගන්න පුළුවන් අපි කවුරුත් කැමති එළවළුවක් තමයි මාළු මිරිස්. මේකත් ගණන් යන්න ගත්තම කන්න එපා වෙන වම්බටු වගේම අපිට ගණන් උස්සන එළවළුවක්.
වගාවට සුදුසු වර්ග
හන්ගේරියන් යෙලෝ වැක්ස් කියන ප්‍රබේදය තෙත් කලාපයට එච්චර සුදුසු නැහැ. ඉක්මණින් බැක්ටීරියා රෝග වලට ගොඳුරු වෙන්න පුළුවන්. සී. ඒ 8 වර්ගය තරමක් මේ රෝගයට ඔරොත්තු දෙනවා.
සුදුසු කාලය සහ කාලගුණය
බටු වගාවට සුදුසු කාලය හැටියට කියන්නේ නොවැම්බර්, දෙසැම්බර් කාලය හෝ අප්‍රේල් මැයි කාලය. ඕනෑම කාලගුණ දේශගුණ තත්වයක වගා කලහැකියි.
වවන්න කලින් දැනගන්න
ඇට තවාන් කර පැල ලබාගන්නවා නම් මාසයක් පමණ වැඩුණු පැල තවානෙන් ඉවත් කර පෝච්චියේ හෝ පොළවේ සිටුවීම සුදුසුයි. පස පෙර පරිදිම පොහොර යොදා කලින් සකස් කරගන්න. මිරිස් වලට වගේම මල් හටගන්නා කාලය වන විට වැඩි තෙතමනයක් අවශ්‍ය වන බැවින් ඒ කාලයේ ජල සැපයුම ගැන සැලකිලිමත් වෙන්න.
සාමාන්‍ය හිරු එළියක් ලැබීම සහ මුල් වල වැඩිපුර ජලය නොරැඳී හොඳින් ජලය ගලා යන ලෙස පස සැකසීමෙන් මුල් කුණු වීමේ රෝග වලක්වා ගන්න පුළුවන්.
4. තක්කාලි වගාව
වත්තේ වගා කරගැනීමේ වාසිය
මේ ලිස්ට් එක අනිත් එළවළු වගෙම අපිට නැතුවම බැරි දෙයක් තමයි තක්කලි. අමුවෙන් කන තරමට ගුණ වුනාට බෙහෙත් ගහල හදන තක්කලි අමුවෙන් කෑමට එක් කරගන්න හිතෙන්නෙ නෑ දැන් කාලෙ නම්. හැබැයි ගෙදරම හදාගත්තොත් වස විස නැති තක්කලි සලාදයක් අපි කාටත් කන්න පුළුවන්.
වගාවට සුදුසු වර්ග
කේ.ඩබ්.ආර්. (ටී 62) සහ ටී 146 යන පඳුරු තක්කලි ප්‍රභේද කොල කොඩ වීම සහ බැක්ටීරියා රෝග වලට හොඳින් ඔරොත්තු දෙන නිසා සාමාන්‍ය වගාවට වඩා සුදුසුයි.
සුදුසු කාලය සහ කාලගුණය
මාර්තු මැද සහ අගෝස්තු අග කාලය තක්කලි වගාවට වඩාත් සුදුසු කාලයයි. උඩරට තෙත් කලාපයේ හැර ඕනෑම දේශගුණික කලාපයක වගා කල හැකියි.
වවන්න කලින් දැනගන්න
ඇට තවාන් කර පැල ලබාගන්නවා නම් සති දෙක තුනක් වයස පැල තවානෙන් ගලව පෝච්චියේ හෝ පොළවේ සිටුවන්න.
පෙර පරිදිම පස සකස් කර ගත යුතුයි. කොම්පෝස්ට් හෝ කුකුළු පොහොර තක්කලි පැල සඳහා සුදුසුයි. අධික වර්ශාව හෝ අධික හිරු එළිය තක්කලි පැල වලට හානිකරයි. ඒ වගේම තක්කලි පැල වලට අවශ්‍ය පමනට වඩා වතුර යෙදීමෙන් තක්කලි ගෙඩි පිපිරිය හැකියි.
5. බණ්ඩක්කා වගාව
වත්තේ වගා කරගැනීමේ වාසිය
කඩේකින් බණ්ඩක්ක ගෙනාවොත් භාගයක්ම අහක දාන්න වෙන්නෙ මෝරච්චත් අතරින් පතරට දාල දෙන හන්දා. ගෙදරම වවාගත්තොත් අවුරුද්ද පුරාම පලදාව දෙන බණ්ඩක්කා අපිට ලපටි කාලෙන්ම කඩාගෙන අපේ ආහාර වේල රසවත් කරගන්න පුළුවන්.
වගාවට සුදුසු වර්ග
එම්.අයි 5, එම්.අයි 7 සහ හරිත කියල ප්‍රභේද 3ක් තිබ්බට හරිත ප්‍රභේදය රෝග වලට ඔරොත්තු දෙන නිසා ගෙවතු වගාවට ඒක සුදුසුයි.
සුදුසු කාලය සහ කාලගුණය
සැප්තම්බර් සිට ඔක්තෝබර් මුල දක්වා කාලයත් මැයි මුල වන තෙක් අප්‍රේල් මාසයත් බණ්ඩක්කා වගාවට සුදුසු කාලයයි. සාමාන්‍ය වියළි කාළගුණයක් මේ සඳහා සුදුසු වන අත්‍ර පමණට වඩා වතුර නොයෙදීමට සැලකිලිමත් වෙන්න.
වවන්න කලින් දැනගන්න
ඇට තවාන් කර පැල ලබාගන්නවා නම් තවාන් දැමීමට පෙර පැය 24ක් වත් ඇට ටික වතුරේ පොඟවා ගන්න. ගොම පොහොර සහ කොම්පෝස්ට් පොහොර යොදා දින දෙකකට පෙර සකස් කරගත් පොළවේ හෝ පෝච්චියේ සති 3ක් වර්ධනය වුන පැල සිටුවා ගන්න.
- aniwa.lk
වසවිස නැතිව, සාක්කුවේ වාසියට කන්න මේ 5 පහසුවෙන්ම ගෙවත්තේම වවන්න
2017-12-26T22:17:00-08:00
Gossip Lanka Hot News
slide|