මත්පැන් දුම්වැටි වලට තිත තියන්න අනිවා ප්‍රයෝජනවත් ටිප්ස් 12ක්

“අද විතරයි හෙට නෑ බොන්නේ”

දුම්වැටියක් එහෙමත් නැත්නම් මත්පැන් ටිකක් ගනිද්දි සමහරවිට ඔබත් එහෙම හිතල ඇති. එහෙම හිතුවට අන්තිමේදි හෙට විතරක් නෙමෙයි අනිද්දත් බීල තමයි නතර වෙන්නෙ.

“කොච්චර ට්‍රයි කලත් මේ කරුම අරක්කු සිගරට් බීම නවත්වන්න බෑනෙ”

මේ තවත් සමහරු කියන කතාවක්. නවත්වන්න
ඕනෙයි කියල කිවුවට ඔයාල උත්සාහ කරල තියනවද මේ දේවල් නවත්වන්න? එහෙමත් නැත්නම් උත්සාහ කරල ඒත් බැරි උනාද?

හරි, උත්සාහ කරපු අයටත්, තමන්ගේ දුම්වැටි මත්පැන් පානය නවත්වන්න හෝ පාලනය කරන්න ඕනෙ කියල හිතන අයටත් වැදගත්වන කරුණු කීපයක් තමයි අපි මේ ගෙනඑන්න හදන්නෙ. කාලයක් තිස්සේ වන ඇබ්බැහිකම් වලින් මිදීම ලේසි පාසු කාර්යක් නොවුනත් ඔබට ඒ දේ කරන්න පුලුවන් කියල හිතාගෙනම මේ ලිපිය කියවල බලන්න. ඔබ අනිවා සාර්ථක වේවි.

1. ප්‍රශ්නය තේරුම් ගන්න

ඔබ වගකීමකින් තොර විදිහට වැඩිවශයෙන් මත්පැන්, දුම්වැටි ආදිය පාවිච්චි කරන කෙනෙක්නම් ජීවිතයේ එක මොහොතකදි හරි මේ පුරුදු ගැන ඔබට පුංචිම හරි පසුතැවිල්ලක් ඇතිවෙලා ඇති. ටිකක් බීල වැඩිවුණ දවසකට පහුවදා, එහෙමත් නැත්නම් ලෙඩක් දුකක් හැදුන වෙලාවකදි වෙන්න පුලුවන්. ඒ මොහොතෙදි මේ දේවල් වලින් ඈත් වෙන්න හිතුවත් ආපහු ටික දවසකින් මේවටම හිත ඇදිලා යනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්.

තමන්ගේ මත්පැන් දුම්වැටි භාවිතාව ගැන තමන්ම හිතල තීරණයකට එන එක තමයි මුලින්ම කරන්න ඕනෙ. මේ දෙවල් නිසා තමන්ට අහිමි වූ දේවල්, තමන්ගේ පවුලේ අයට සහ සමාජයට සිදුවූ අයහපත් දේවල් වැනි දේ තියනවනම් ඒ දේවල් සිහිපත් කරගන්න එක වටිනවා. ඒත් එක්කම තමන් පමණට වඩා මේ දේවල් පාවිච්චි කරනවායැයි කියන එක තමාට ඒත්තු ගන්නාගත යුතුයි.

හුඟක් වෙලාවට අපේ සිත මැලි වෙනවා අපි මේ දේවලට ඇබ්බැහි වෙලා කියල පිළිගන්න. එහෙම අවස්ථාවක මේ ප්‍රශ්න කිහිපයට පිළිතුරු දීල තමන්ගෙ මත්පැන් පානය කරන පුරුද්ද ගැන අදහසකට එන්න ඔබට පුලුවන්.

2. තමන්ගෙ බලය පතුරුවන්න

ඔබ මේ දේවල් පාලනය කරනවා මිස මේ දේවල් වලට ඔබට පාලනය කල නොහැකි බව තරයේ හිතේ තබාගැනීම වැදගත්. ඔබේ අවසරයක් නැතිව මත්පැන් හෝ දුම් උගුරකටවත් ඔබේ ශරීරයට බලෙන් ඇතුලුවෙන්න බෑ. ඒ නිසා මේ හැම දේකම පාලකයා තමන්ය කියා නිතර හිතන්න.

මත්පැන් දුම්වැටි ඕනෙමයැයි හිතෙන වෙලාවක හිතෙන් සටන් කරල ඒ අවශ්‍යතාවය යටපත් කරන්න උත්සාහ කරන්න. එසේ කොට ඔබ දුර්වලයෙකු නොවේයැයි ඔබටම ඔප්පු කර පෙන්වන්න.

3. ආශාවන් එක්ක සටන් කරන්න

අපේ ජීවිතවලට මත් පැන් සහ දුම්වැටි වල අවශ්‍යතාවය දැනෙන විවිධ අවස්ථා තිබෙනවා. ඒවා හඳුනාගැනීම හරිම වැදගත්.
සමහරුන්ට යම් වැඩක් ගැන කල්පනා කරන්න සිගරට් එකක් අවශ්‍ය වෙනවා. තවත් සමහරුන්ට ආතතියක් දැනුනම් සිගරට් සහ මත්පැන් පානය කරන්න ගන්නවා. සති අන්ත යාලු මිත්‍ර සෙට්වීම් පවත්වද්දිත් එහෙමයි.

මේ අවස්ථා හඳුනාගෙන ඒ අවස්ථාවලදී මත්පැන් දුම්වැටි වලින් බැහැර වෙන්න හිතේ තබාගන්න. ඔබ මුල්වරට කල්පනා කලේ සිගරට්ටුවක් අතේ තබාගෙන නෙමෙයිනෙ නේද? අනික තමන්ගෙ පළමු හොඳම යහලුවා හම්බවුනෙත් මත්පැන් බොද්දි වෙන්න බෑනෙ නේද?

වටිනාම දේ වන්නේ ඒ ආශාවන් ඇතිවීමට හේතු සොයාගෙන මනසින් පිළියම් යෙදීමයි. මධු සාදයන් මතකයට කැඳවා ඔබට බාධා පමුණුවන හිස් මත්පැන් බෝතල් ආදියත් හැකි ඉක්මනින් නිවසින් බැහැර කරන්න.
කාලයත් එක්ක මේ ආශාවන් විසින් කරන කැඳවීම් වලට ඔබේ සිත ඇතුලින් වඩ වඩාත් සාර්ථක පිළිතුරු ලැබේවි.

4. මොහොතක ආශාවට සාර්ථකත්වය යට කරන්න එපා

මත්පැන් දුම්වැටි අත්හැරපු පළමුවෙනි දවසේ ඔබට දැනුනු දුම් මත්පැන් බීමේ ආශාවම සියවෙනි දවසේදීත් ඔබට ඒ විදිහටම දැනෙන්න පුලුවන් බව සිහිතබා ගන්න. කොතරම් කාලයක් ඔබ මේ දේවල් වලින් මිදිල සැනසිල්ලෙ ගත කලත් ජීවිතයේ එකම එක මොහොතක මේ දේවල ආශාව ඔබට පාලනය කරන්න බැරි මොහොතක් එන්න පුලුවන්. මේ ඇබ්බැහිකම් වල හැටි එහෙමයි එක මාර්ගයක් ඔබ අහුරනකොට තව මාර්ග කිහිපයක් තුළින් ඔබ වෙත එනවා. ඒක තේරුම් ගන්න.

බොන්නම් ඕනෙමයි කියල හිතෙද්දි මේක තවත් එක දවසක් සහ මොහොතක් විතරයි කියල හිතන්න. මෙතෙක් දවසක් ඔබ ලබාගෙන ආපු ජයග්‍රහණයන් සහ ආත්ම විශ්වාසය මේ එක මොහොතට යට කරන්න තරම් වටිනවද කියල හිතල බලන්න. ආපහු පහුවදාට ඔබේ හෘද සාක්ෂිය සහ ආත්ම විශ්වාසයට පිළිතුරු දෙන එක ගැන හිත යොමු කරල නොසැලී ඉදිරියට යන්න.

5. හැමෝටම කියන්න

මත්පැන් දුම්වැටි පානය නවත්වනවා හරි අඩු කරනවා හරි නම් ඒ ගැන ඔබ ආශ්‍රය කරන අයට කියන්න. ඔබේ හොඳ හිතවතුන් නම් ඒ අය ඔබේ තීරණයට සහය දෙයි. තමන් තනියම හිතල මේ දේවල් පාලනය කරනවාට වඩා අනිත් අයට කීම වඩාත් සාර්ථකයි. ඒකට එක හේතුවක් තමයි තමන් කිවුවොත් දෙයක් කරන කෙනෙක් බවට අනිත් අයට පෙන්නන්න අපේ හිත්වල තියන කැමැත්ත. ඔබේ ඇබ්බැහිකම පාලනය කිරීමේදී මේ දේ ධනාත්මක විදිහට යොදාගන්න පුලුවන්.

හැමෝටම කිවුව වගේම තමන්ගෙ මේ තීරණයට සහයෝගය නොදක්වන, තමන්ට බාධා කරන මිතුරු වෙසින් ඉන්න අයව මගහරින්නත් දෙපාරක් හිතන්න එපා.

6. කුඩා පියවර වශයෙන් පටන් ගන්න

අපි එක එක්කෙනාගෙ අධිෂ්ඨාන ශක්තිය විවිධ මට්ටම්වල තියෙන්නෙ. ඒ නිසා අද ඉඳන් මත්පැන් දුම්වැටි පාවිච්චි කරන්නෙ නෑ කියල හිතුවට එකපාරට නවත්වන්න හැමෝටම අමාරුයි. ඒ වගේ අය ටික ටික මේ දේවල් අඩු කරන්න බලන්න. දවසට බොන සිගරට් ගණන ක්‍රමයෙන් අඩු කරන්න. සතියේ මත්පැන් බොන වාර ගණන අඩු කරන්න.

මේ සඳහා ඔයාලට පුලුවන් තමන්ටම චැලෙන්ජ් එකක් දාගන්න. සතියේ මේ මේ දවස්වල මත්පැන් බොන්නෙ නෑ කියල හිතන්න. දවසට බොන සිගරට් ප්‍රමාණය යම්කිසි ගණනකට සීමා කරනව කියල හිතන්න. මේ අභියෝග ජයගැනීම හරිම ප්‍රමෝදජනක අද්දැකීමකුත් වෙයි.

7. මිත්‍යා මත ගැන අවධානය යොමු කරන්න

අරක්කු සිගරට් ගැන සමාජයේ පතුරුවා තියන මිත්‍යා අදහස් හිතින් විමසල බලල ඒවගෙ සත්‍ය අසත්‍යතාවය කිරා මැන බලන්න. අරක්කු සිගරට් බිවුවම පෞරුෂත්වය කැපී පෙනෙනව වගේ කතා, හොඳ විනෝදමත් කාලයක් ගත කරන්න මත්පැන් ටිකක් බිව යුතුමයි කියන කතාබස් ගැන ගැඹුරින් හිතා බලන්න.

අරක්කු දුම්වැටි භාවිතය ගැන තමන්ගෙ හිතෙන් හදාගෙන ඉන්න අදහසුත් විමර්ශනය කර බලන්න. සමහරුන්ට වැසිකිළි යන්නත් දුම්වැටිය අවශ්‍ය වනවා, කෑම ටිකක් කන්නට පෙර හෝ නින්ද හොඳින් ළගා කරගන්නටත් මත්පැන් ටිකක් අවශ්‍ය වනවා. මත්පැන් නොමැතිව මේ දේවල් නිසියාකාරව සිදුවන්නේ නැතිද යන්න ගැන සිතා බලන්න.

8. සටහන් තබාගන්න

හැකියාවක් තියනවනම් තමන්ගේ දුම්පානය සහ මත්පැන් පානය ගැන සටහන් පොතක් තබාගන්න.විවිධ දවස් වල තමන්ට දුම්වැටි මත්පැන් පාචිච්චි කරන්නට සිතුනු හේතුව. ඒවා ගැනීමෙන් පසුව තමන්ගේ ශරීරයට සහ මනසට දැනුනු පහසු සහ අපහසු දේවල් ආදී සියල්ලම ලියා තබන්න.

බොහොමයක් වෙලාවට මත්පැන් සම්බන්ධ අමිහිරි මතක ඉතා කෙටි කාලීනයි. අපේ මොලය විසින් අපට දන්වන්නේ එහි ප්‍රමෝදජනක මතක සටහන් පමණයි. ඒ නිසා මේ සියල්ල කිරා මැන බැලීමට ඔබට මේ සටහන් වැදගත් වේවි. ඒ වගේම තවත් දුරට අධ්‍යයනය කිරීමෙන් ඔබ විසින් නාස්තියට ලක්කරන මුදල, මත්පැන් දුම්වැටි පානය සඳහා ඔබ හිතෙන් හදාගන්නා ව්‍යාජ හේතු වගේ දේවලුත් මේ සටහන් කියවීමෙන් ඔබට තේරුම් කරගන්න හැකිවෙයි.

9. නිතර පෙනෙන තැනක මේ ගණන හැදූ සටහනක් තබාගන්න

ඔබේ සටහන් පොතේ එක් පිටුවක් යොදාගෙන ඔබ මත්පැන් දුම්වැටි ගන්නා දිනයන් සහ ප්‍රමාණයන්ට අනුව වැයවෙන මුදල සටහන් කරල තබන්න. උදාහරණයක් හැටියට ඔබ ඔබ සතියකට විටින් විට මත්පැන් බෝතල තුනක් සහ සිගරට් පැකට්ටු දෙකක් පාවිච්චි කරන්නේ නම් අවම වශයෙන් රුපියල් පන්දහසක් පමණ මුදලක් ඔබට වැයවේවි. එය මාසිකව ගත්කල රුපියල් විසිදහසකුත් ඉක්මවන ප්‍රමාණයක්.

මේ මුදලින් ඔබේ දරුවන්ට, බිරිඳට හෝ දෙමවුපියන්ට සැලකිය හැකිව තිබූ ආකාරයන් සිහියට ගන්න. ඔබේ දරුවා ආශාවෙන් සිටි සෙල්ලම් බඩුවක්, බිරිඳ ප්‍රිය කරන සාරියක් හෝ ඔබේ මව කිරීමට සිතාගෙන සිටි පුණ්‍ය කටයුත්තක් වැනි දෙයක් පහසුවෙන්ම ඒ වැනි මුදලකට අඩුවෙන් කරදී ඔවුන්ව සතුටු කරන්න ඔබට ඉඩ තිබුණා නේද?

10. විකල්ප දේවල් අත්හදා බලන්න

මත්පැන් දුම්වැටි වලින් මිදීමට කරන උත්සාහය අතරේ මේවාගෙන් සහනය ලබාගැනීමට නිපදවා තිබෙන විකල්ප දේවලුත් අත්හදා බලන්න. නිකොටින් පෙති, ඉලෙක්ට්‍රොනික් දුම්වැටි මෙන්ම මත් නොවන බියර් වර්ගද වෙළඳ පොලේ දකින්නට ලැබෙනවා. ඒ දෙවල් ඔබේ මේ අත්හැරීමේ ගමනට සහයක් වේවිදැයි අත්හදා බලන්නටත් පුලුවන්.

11. ආතතිය මැඩලන්න

ආතතිය කියන්නෙ මත්පැන් දුම්වැටි වලට පාර කියන ප්‍රධානම තත්ත්වයක්. ආතතිය සමනය කරන දේවල් වලට වැඩියෙන් යොමුවෙන්න. වැඩිපුර ව්‍යායාම කිරීම හොඳ උපක්‍රමයක්. නිතරම සමබර ආහාර වේලක් ගන්න උත්සාහ ගන්න, හවස් යාමයේ තෘප්තිමත් කෙටි කෑම වේලක් ලබාගැනීම මගින් සැන්දෑව වනවිට මත්පැන් පානය කිරීමේ අවශ්‍යතාවය තරමක් දුරට මැඩගන්න පුලුවන් වෙයි.

සිත සැහැල්ලු කරන සංගීතය අසන්නට හුරු වෙන්න. අලුත් විනෝදාංශයක් සොයාගන්නත් උත්සාහ කර බලන්න. මේ දේවල් වලින් ආතතිය මදක් දුරස් කරගන්නට හැකිවේවි.


12. ඇබ්බැහිකම් වලින් මිදීමෙන් අත්වන වාසි අත්විඳින්න

මත්පැන් දුම්වැටි ආදියෙන් මිදී ඉන්න අතරතුර ශරීරයට සහ හිතට දැනෙන සුවතාවයන් ගැන වැඩිපුර අවධානය යොමු කරන්න. ඔබේ ආහාර රුචියේ වර්ධනය, ශරීර ශක්තියේ දියුණුව සහ මානසිකව නිදහස් බවක් දැනීම වගේ දේවල් වල ආශ්වාදය ඔබටම ඒත්තු ගන්වාගන්න. යහපත් සිහියෙන් යුතුව රසවත් රාත්‍රී ආහාරයක රසය විඳින්න, ප්‍රබෝධමත්ව පිබිදී උදෑසන තේ පානය කරන අතරතුර හිසේ අමාරුව සහිතව පිබිදුණ අමිහිරි උදෑසනවල් ගැන මතක් කරගෙන මේ මොහොතේ වටිනාකම තවත් වැඩිපුර විඳින්න.

එවිට මත්පැන් දුම්වැටි වලින් තොරව දවස ගෙවන්නට ඔබගේ අධිෂ්ටානය තවත් වැඩිවේවි.

- aniwa.lk

gossip lanka