ඔබට අමතක වෙන්නේ මෙන්න මේ හේතු නිසා බව ඔබ දන්නවාද?

අපි සමහර වෙලාවට මොකක් හරි දෙයක් මතකයට නගද්දි ඒක මතකෙට එන්නෙම නෑ. එහෙමත් නැත්නම් මතක් වේගෙන වගේ එනව ඒත් හරියට මතක් වෙන්නෙ නෑ. ඔයාලත් මේ දේ අත්විඳල තියනවද? මේ විදිහට අමතකවීම බොහෝම සාමාන්‍ය සිදුවීමක්. හැබැයි එහෙම නිකම්ම දෙයක් අමතක වෙන්නෙ නෑ. එහෙම වෙන්න හේතු තියනවා. ඒ
ගැනයි අපි මේ කියන්න යන්නෙ.



1. ධාරණයේ නොහැකියාව

ඔබට සමහර වෙලාවට ඇහිලා ඇති, ඔබේ වැඩිහිටියන් කියනවා “මම මේ කියන්න ආපු දේ එක පාරට අමතක වුනා” වගේ වචන. එහෙම වෙන්නට එක හේතුවක් වෙන්නේ ඔවුන්ගේ මතකය තුලින් අර අවසානයට ධාරණය කරගත් මතක කොටස් අමතක වෙලා  යෑමයි. මේ ගැන විද්වතුන් මත පල කරන්නේ මතකය සැනින් අමතක වීම යනු “ක්ෂය වීමේ තර්කයේ” එක කොටසක් බවයි. මේ තර්කයට අනුව, අපි මතකයක් ධාරණය කරගන්නා සෑම අවස්ථාවකදීම, අපි මදකට කලින් ධාරණය කරගත් මතක මැකී යාමට හෝ අමතක වීම සිදුවෙනවා. මේ නිසා තොරතුරු නැවත නැවත අලුත්වීම හෝ මතකයෙන් ආවර්ජනය කීරීම සිදු නොවුනොත් ඒවාට රැඳෙන්නට ඉඩක් පවතින්නේ නැහැ.

කෙසේ වෙතත් නිතර ආවර්ජනය නොකල සමහර ඔබේ පැරණි මතකයන් (long term memories) පවා සුරක්ෂිතව මතකයේ තැන්පත්ව තිබීම හේතුවෙන් මේ ක්ෂය වීමේ තර්කය පිළිබඳව ගැටලු පැණ නැගෙනවා.

2. මතකයට බාධා ඇතිවීම

අමතක වීම සම්බන්ධයෙන් තියෙන තවත් මතයක් තමයි මතකයට විවිධ බාධා ඇතිවීම නිසා අමතක වීම් විය හැකි බව. ඒ කියන්නේ ඔබේ යම් මතකයකට තවත් මතකයක් හෝ අත්දැකීමක් නිසා යම් බාධාවක් ඇති වෙනවා නම්, ඒ බාධාව නිසා අපි මතක තුල රඳවා ගත දේවල් වෙනුවට අර බාධාව පිලිබඳ අත්දැකීම “පමණක්” ගබඩා වී පැවතීම.

මේ බාධාවීම විදි දෙකකට ඇති වෙන්නට පුළුවන් වෙනවා.


  • පැරණි මතකයක් නිසා අලුත් මතකයක් ස්මරණය කිරීමට නොහැකිවීම (Proactive interference)


උදාහරණයක් විදියට අපි දුටු යම් ගොඩනැගිල්ලක් ගැන මතකයක් තිබෙනවා, මේ ගොඩනැගිල්ල ඊයේ දකිනකොට තිබුනේ කොහොමද කියලා අපිට මතකයට නගා ගන්නට අපහසුයි, අපිට මතකයට එන්නේ ඒ ගොඩනැගිල්ලේ පැරණි පෙනුමම නිසා.


  • අලුත් මතකයක් නිසා පැරණි මතකයක් ස්මරණය කිරීමට නොහැකි වීම (Retroactive interference)


උදාහරණයක් විදියට අපි යම් ගීතයක් අසනවා. අපි හොඳින්ම දන්නවා මේ ගීතය අතීතයේ ගායනා කල එකක් බව, එහෙත් පැරණි ගීතය අපිට මතකයට නගා ගන්නට අපහසුයි, වර්තමාන ගීතයේ ස්වභාවය අපේ මතකයට නිතර එන නිසා.

3. සිතුවිලි ගබඩා කර ගැනීමේ නොහැකියාව

සමහර අවස්ථාවල අපි මතක තබාගත යුතු ම දේවල් අපට අමතක වෙන අවස්ථා තිබෙනවා. මෙහෙම වෙන්නට හේතුවෙන්නේ, අපේ මතකයන් අපේ දීර්ඝ කාලීන මතකයන් බවට පත්වන්නට කලින් ක්ෂය වී යාමයි. අප තුල මතකයක් ගබඩා වන්නේ අපි දකින, අසන සහ විඳින දේවල් හරහායි. මේ හරහා එන මතකයන් තැන්පත් කරගැනීමේදී ඒවායේ විස්තර අඩුවෙන් අපේ මතකයේ සටහන් වීම නිසායි මෙය දීර්ඝ කාලීන මතකයක් කරා නොයන්නේ. උදාහරණෙකින් කිවුවොත් ඔබ එතරම් උනන්දුවක් නොදක්වන සාකච්ඡාවක් අතරතුරදී කියැවෙන නමක් ඉක්මනින්ම ඔබට අමතක වන්න පුලුවන්. එයට හේතුව අපි කලින් කී පරිදි තොරතුරු විස්තරාත්මකව මතකයට ඇතුලත් නොවීමයි.

මේ සිදුවීම නිසා අපේ මතක දීර්ඝකාලීන් මතකයන් බවට පත් නොවී සදාකාලිකව ම අමතක වෙලා යන්නත් ඉඩ තිබෙනවා.

4. අමතක කිරීමට දිරි දීම

අපි සමහර දේවල් සමහර අවස්තාවලදී අමතක කරන්නට උවමනා වෙනවා. ඒවා අතීතයේදී ඔබට අත්විඳින්නට වුනු දුක්ඛදායක සිදුවීම් වෙන්නට පුළුවන්. සමහර අමිහිරි අත්දැකීම් වෙන්නට පුළුවන්.

මෙය විදි දෙකකට සිදුවෙන්නට හැකියි.


  • උත්සහ කර මතකයන් අමතක කිරීම (suppression)
  • අවිඥානිකව අමතක වී යාම (repression)

අවිඥානිකව සිදුකරන අමතකවීම් වලට බලපාන්නේත් ජීවිතයට බලපාන අමිහිරි, ආතතිමය සිදුවීමක්, අත්දැකීමක මතකයක් වෙන්න පුලුවන්. මේ දේවල් පිළිබඳ පුද්ගලයාට මතක නොතිබුණත් ඔහුගේ සාමාන්‍ය (සවිඥානික) ජීවිතයට මේ අමතක කිරීම් නිසා මානසික සහ ශාරීරිකමය බලපෑම් ඇති වන්නට බොහෝ ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් මේ ආකාරයෙන් අමතක වූ මතකයන් පිළිබඳව විද්‍යාඥයින් නම් දරන්නේ පරස්පරවූ මතයනුයි.

- aniwa.lk


gossip lanka