නිරෝගී ගැබිණි සමයකට ඔබට අවශ්‍ය උපදෙස් 9ක්

මව් පදවිය ලබන්න යනව කියන එක හැම විවාපත් යුවතියකගේම ජීවිතේ සුන්දරම ආරංචියක්. ඉතින් මේ සොඳුරු ආරංචිය ලැබුනට පස්සෙ මේ හැම මව් කෙනෙක්ගෙම සාමාන්‍ය ජීවන රටාව ලොකු වෙනසකට බඳුන් වෙනව. වෙනදට වඩා පරිස්සම් වෙන්න කියල හැමෝගෙන්ම ලැබෙන උපදෙස් අනුශාසනා එක්ක තමන්ගෙ කුස තුල හැදෙන වැඩෙන අළුත් ජීවය ගැන අප්‍රමාණ ප්‍රේමයක් ඇති වෙන්නෙ නිරායාසයෙන්මයි.

දුවෙක් උනත් පුතෙක් උනත් තමන් තුල පෝශණය වෙන අළුත් ජීවිතය
ගැන දැනෙන ඒ ආදරය එක්කම අළුත් අම්ම කෙනෙක් තමන්ගෙ සෞඛ්‍ය ගැන හිතන්න ඕන දේවලුත් අළුත් වෙනව. වෙනදාට වඩා ක්‍රියාශීලිව, ප්‍රවේසම් සහගතව හැසිරෙනවත් එක්කම මෙන්න මේ දේවල් මවක් වීමට ඇඟිලි ගණින ඔබ දැන සිටිය යුතුමයි.

1. මුලින්ම ආරංචිය ලැබුණු පසු

ඔබ ගැබිණියක් බව වෛද්‍යවරයකු වෙතින් තහවුරු කරගත් පසු අනිවාර්යෙන් ඔබෙ පලාතේ පවුල් සෞඛ්‍ය සේවිකාව මේ පිළිබඳව දැනුවත් කිරීම කල යුතුමයි. මේක හුඟ දෙනෙක් අමතක කරන කාරණයක්. වෛද්‍යවරයෙක් මුණගැසීම ප්‍රමාණවත් කියල සිතුනත් ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුවත් කිරීමේ වැදගත්කම ඔබ දැනෙන්නෙ හදිසි අවස්ථාවක රෝහල්ගත වෙන්න සිදු උනොත්.

2. මතින් දුමින් තොර වෙන්න

සාමාන්‍යයෙන් ලංකාවෙ බහුතර කාන්තාවන් මත්පැන් දුම්වැටි භාවිතයෙන් තොර උනත් ඉඳ හිට හෝ එහෙම පාවිච්චි කරන අය සිටිය හැකියි. එසේ නම් මේ ගැබිණි සමයේ මත්පැන් සහ දුම්වැටි වලින් සම්පූර්ණයෙන් ඈත් වී සිටීම ඔබේ කුස තුල වැඩෙන දරුවාගේ මෙන්ම ඔබේ ගර්භණී කාලයේ නිරෝගීකමට බෙහෙවින් බලපානව. ඔබ දුම්වැටි භාවිතා නොකලත් ඔබේ සැමියා හෝ ඔබ අසල නිතර ගැවසෙන කෙනෙක් දුම් වැටි භාවිතා කරනවා නම් ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කිරීමත් අනිවාර්යෙන්ම කල යුතුයි.  සිගරට් දුම ආඝ්‍රාණයද ඔබට බලපෑම් එල්ල කල හැකියි.

3. වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්න

වෛද්‍යවරයා නියම කරන අයන් ටැබ්ලට්, ෆෝලික් ඇසිඩ් සහ විටමින් වර්ග නොවරදවාම ලබාගන්න. මුල් ගර්භණී සමය තුල ඇති වෙන අපහසුතා නිසා බොහෝ මව්වරුන් මේ දේවල් ලබාගන්න මැලි වෙනව. නමුත් ඔබේ කුස තුල වැඩෙන කළලයේ පෝශණ අවශ්‍යතා බොහොමයක් සපුරාගන්න සහ ගර්භයේ ශක්තිමත්භාවය සඳහා මේ විටමින් වර්ග සහ ෆෝලික් ඇසිඩ් ඔබ ලබාගත යුතුමයි.

4. ගැබිණි සමයට සුදුසු ව්‍යායාම

ඉස්සර අපේ ගම් වල කාන්තාවන් ව්‍යායාම වල අමුතුවෙන් නිරත වුනේ නැහැ. වංගෙඩියෙ හාල් කොටන්න, මිරිස් අඹරන්න, කුල්ලෙන් පොලන්න මිදුල අතුගන්න වගේ එදිනෙදා ගෙදර දොරේ වැඩ වලින් ඔවුන්ට නිසි ව්‍යායාමය ලැබුනා. නමුත් දැන් කාලෙ ඒ දේවල් ඉබේටම ඈත් වෙලා ගිහින් නිසා ඔබ ව්‍යායාම වල නිරත වීම අනිවාර්යයි. දරු උපතේදී සිදුවන අපහසුතා බොහොමයක් ගර්භණී සමයේ ව්‍යායාම වල නිරත වීමෙන් මගහරවා ගත හැකියි. දිනකට අඩුම තරමේ පැය භාගයක් ඇවිදින්න. එදිනෙදා ගෙදර දොර අතු පතු ගෑම් වල නිරත වෙන්න. ගැබිණි බව ලෙඩක් නෙවෙයි. ඒ නිසා ක්‍රියාශීලීව දවස ගෙවන්න. එය ඔබේ දරුවාගෙත් ඔබගේත් නිරෝගී පැවැත්මට පිටුවහලක්.

5. මනස ක්‍රියාකාරීව තබාගන්න

මෙය දරුවාගේ මෙන්ම ඔබේ මානසික සුවයට වඩා වැදගත් කාරණයක්. මනසට ව්‍යායාම ගෙනදෙන්න නම් ඔබ නිතර පොත පත කියවන්න. කලහකාරී, සිත ගැස්සෙන සුළු දේවල් වලින් තොරව සිත සන්සුන් කරවන එසේත් නැති නම් යම් කිසි විෂයක් ගැන දැනුම ලබාදෙන ආකාරයේ පොත් පත් කියවන්න. ගර්භණී සමය ගැන ලියවුනු දෑ කියවා දැනුවත් වෙන්න. භාවනාවට කාලයක් යොමු කරන්න. ගර්භණී සමයේදි සිත සන්සුන්ව තබා ගැනීම දරුවාගේ මානසික වර්ධනයට බෙහෙවින් උපකාර වෙනව. මේ කියවීමට වෙන් කරන කාලයේදී ඔබේ මනසට ව්‍යායාමයක් වෙනවා වගේම ඔබෙ සිරුරට අවශ්‍ය විවේකයත් ලැබෙනව.

6. දෙන්නෙක්ට ඇති වෙන්න කන්න කියන්නෙ ඇයි?

කතාවට කියන්නෙ මේ කාලෙට දෙන්නෙක්ට හරියන්න කන්න ඕනෙ කියල හැබැයි මේකෙ තේරුම දෙන්නෙක් කන ප්‍රමාණෙ බත් එකක් කාල බඩ පුරෝගෙන පැත්තකට වැටිල නිදාගන්න එක නෙවෙයි. දෙන්නෙක්ගෙ පෝශණ අවශ්‍යතා සපුරාගන්න ඕන නිසා පෝශ්‍යදායී ආහාර වේලක් ලබාගන්න එක. අළුත් එලවළු පලතුරු මෙන්ම මාළු වර්ග ආහාරයට නිතර එක් කරගන්න. කුස තුල වැඩෙන දරුවා අයන්, විටමින් සහ කැල්සියම් වැනි තම සියළුම පෝශණ අවශ්‍යතාවයන් සපුරාගන්නෙ ඔබ තුලින් බැවින් කළලයට වැඩීමට මෙන්ම ඔබේ දෛනික අවශ්‍යතාවයටත් ප්‍රමාණවත් පරිදි පෝශ්‍යදායී ආහාර ගැනීම අනිවාර්යයි.

7. ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න

කළලයේ වැඩීමට අවශ්‍ය පෝශණය ලබාගන්නේ ඔබ තුලින් කියල කලින් කිව්වනෙ. මේ නිසා ඔබේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගන්න අවශ්‍ය කැල්සියම් සහ විටමින් ප්‍රමාණය නොලැබී යන්න තියෙන ඉඩ වැඩී. හුඟක් මව්වරුන් දරු ප්‍රසූතියෙන් පස්සෙ දුර්වල මුඛ සෞඛ්‍යකට වගේම හිසකෙස් හැලීම වගේ දේවල් වලට මුහුණ දෙන්නෙ මේ නිසයි. දන්ත වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබාගන්න. හිසට තෙල් සාත්තුවක් කරගන්න දවස් දෙක තුනකට වතාවක්වත් වෙලාවක් වෙන් කරගන්න. පිරිසිදු ජලය හැකි තරම් පානය කරන්න. කුස තුල වැඩෙන දරුවා ගැන වගේම ඔබ ගැනත් ඔබේ සෞඛ්‍ය ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න.

8. වෛද්‍ය හමුව ප්‍රයෝජනවත් කරගන්න

ඔබේ වෛද්‍යවරයා හමුවන්නට නියමිත දිනට පෙර ඔහු සමඟ කතා කලයුතු සියළු දෑ සටහන් කරගන්න. සටහන් කරගන්න කියන්නෙ හුඟක් වෙලාවට පොඩි පොඩි දේවල් කියන්න අමතක වෙන්න පුළුවන් නිසා. ගෙදර ඇවිත් අයියෝ අරක අහන්න මතක උනා කියන්න වෙන එකක් නෑ අහන්න ඕන දේවල් ලියාගෙන ගියොත්. ඔබේ ශාරීරික වෙනස්කම් අපහසුතාවයන් ආදී සියල්ලම සටහනක් තබාගෙන වෛද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න.

9. වැඩකරන ස්ථානය සහ නිවසේදී ආරක්ෂාව

ඔබ කරන රැකියාව විවිධ රසායනික ද්‍රව්‍ය අතපත ගෑම් සහ නොයෙක් විකිරණ සහිත උපකරණ වැනි දේවල් ආශ්‍රිත නම් ඒ සම්බන්ධව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කර උපදෙස් ලබාගන්න. ඒ වගේම නිවසේ පිරිසිදු කිරීම් කටයුතු වලට යොදාගන්න ඇතැම් රසායන ද්‍රව්‍ය වුනත් ඔබේ කළලයට හානිදායක වෙන්න පුළුවන් නිසා වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි. ඒ විතරක් නෙවෙයි. ඔබ භාවිතාකරන මේකප් සහ ක්‍රීම් වර්ග වල උනත් කළලයට හානිකර වෙන්න පුළුවන් රසායන අඩංගු වෙන්න පුළුවන් නිසා මේ හැමදෙයක් ගැනම වඩාත් සැලකිලිමත් වෙන්න.

10. කෑමට ගත යුතු නොයුතු දේ ගැන

මේ කාලෙට කන්න හොඳ සහ හොඳ නැති කෑම ජාති බොහොමයක් ගැන කියවෙනව. බටහිර වෛද්‍ය විද්‍යාවේ වගේම ලංකාවේ අපේ අම්මල මේ කාලෙට කන්න හොඳ නැහැයි කියන කෑම ලිස්ට් එකක් තියෙනව.

උශ්ණාධික ආහාර මුල් මාස 3දි ගැබිණි මව්වරුන්ට තහනම්. ඉස්සො, දැල්ලො, කකුළුවො, බලමාළු, කෙලවල්ලො වගේම උශ්ණාධික මාළු වර්ගත්, විනාකිරි භාවිතා කරන ආහාර වර්ගත්, අන්නසි සහ ගස්ලබු වගේ පලතුරුත් මුල් ගැබිණි සමය තුල මව්වරුන්ට ලබා දෙන්නෙ නැහැ.

තේ සහ කෝපි පානයෙන් යකඩ අවශෝෂණය කරගැනීමට බාධා වෙන නිසා විටමින් සහ බෙහෙත් වර්ග ලබාගත් පසු පැය දෙකක් පමන ගත වන තෙක් ඒ කැෆේන් අඩංගු ආහාර වලින් වැලකෙන්න කියලයි කියන්නෙ.

මේ දේවලින් වැලකෙන්න කියල අපේ මව්වරුන් කියන හේතුවත් වෛද්‍යවරුන් කියන හේතුවත් වෙනස් වෙන්න පුළුවන් උනත් දෙපැත්තේම අය නොකා ඉන්න කියල කියන ආහාර බොහෝ දුරට සමානයි.

කොහොම උනත් හොඳ නැහැයි කියන දේවල් වලින් වැලකිලා ඉන්න එක වඩාත් සුදුසු වෙන්න පුළුවන්. ජීවිත කාලයකට තමන්ට උරුම වෙන සතුටක් වෙනුවෙන් මාස 9ක් පොඩි පොඩි දේවල් කීපෙකින් පරිස්සම් වෙන්න කැප වෙන එක ඒ හැටි දේකුත් නෙවෙයි නේද?

- aniwa.lk



gossip lanka