ලේඩි කෙනෙක් වෙන්න නම් මේ ලක්ශණ තියෙන්නම ඕන… ඔයත් ලේඩි කෙනෙක් වෙන්න ආස නම් කියවලම බලන්න

නියම මහත්මයෙක් හැසිරෙන්න ඕනෙ කොහොමද කියල අපි කලින් ලිපියක කතා කලා මතක ඇති. මේ කතා කරන්න හදන්නෙ නියම නෝනා මහත්මියක් වෙන්නෙ කොහොමද කියන එක ගැන කියන්නයි.

කාන්තාවක් වූ පමණින් ඔබ කුලකතක් එහෙමත් නැත්නම් ලේඩි කෙනෙක් වෙන්නෙ නෑ. ආර්යාවක්/ කුලකතක් එහෙමත් නැත්නම්
නෝනා මහත්මියක් ලෙස හැසිරෙන්නෙ කොහොමද කියල ඔබ දන්නවද? මෙහෙම ඇහුවම ඔයාල කියයි මොකද අපි නොදන්නෙ අපි කොහොමත් වැදගත් කාන්තාවන් තමයි කියල. එහෙම නෙවෙයි මේ කියන්නෙ. හැසිරීමෙන්, ඇඳුමෙන් පැලඳුමෙන් වගේම කතා බහෙන් පවා ඔබ කුලකතක් බව පෙන්වන්නෙ කොහොමද කියන එකට ඔබ අනුගමනය කල යුතු විදි කීපයක් තියෙනව. කුල කතක් කියන්නෙ කුලයෙන් උසස් කියන එක නෙවෙයි, වැදගත් කාන්තාවක් කියන එක කියලත් මතක තියාගන්න. මේ හුඟක් ආචාර ධර්මයන් කාලයත් එක්ක වියැකිලා ගිහින්. බලමුද කුලකතක් සතු විය යුතු ලක්ෂණ වලින් කීයක් ඔයා ලඟ තියෙනවද කියල?

1. කතා කරන්න ඉගෙන ගන්න

මෙහෙම කිව්වම චුට්ටක් සැර වැඩී වගේ තමා. ඒත් මෙහෙම තමා කියන්න වෙන්නෙ. ලේඩි කෙනෙක් වෙන්න නම් මුලින්ම කට චුට්ටක් පරිස්සමෙන් කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නෙ කටට වචන එන පලියට කතා නොකර හිතල මතල කතා කරන්න. ඒ වගේම නරක වචන පාවිච්චියත් නතර කරන්න. නරක වචන කිව්වෙ කුණුහරුප වචනම නෙවෙයි පොඩ්ඩක් පොශ් වෙන්න දඟලන නංගිලාගෙ කටේ මේ දවස් වල කොහේ හිටියත්, කවුරු සමඟ කතා කලත් “ඔහ් ශිට්”, “ඩෑම්”, “හෙල්” වගේ වචන ටිකක් ගැවසෙනව. මතක තියාගන්න කිසිම පාලනයක් නැතිව මේ වගේ වචන පාවිච්චි කරන එකෙන් හානි වෙන්නෙ ඔබේ පෞර්ෂයටමයි. නිදහසේ හැසිරෙන්න පුළුවන් සමාජය හඳුනාගන්න. සම වයස් යහළුවන් සමඟ හැසිරෙන ආකාරය හැම තැනටම නොගැලපෙන බව මතක තියාගන්න.

2. පළමු හමුව වැදගත්

ෆස්ට් ඉම්ප්‍රෙශන් එක ගැන අපි මීට කලින් දීර්ඝව කතා කලා. ලේඩි කෙනෙක් වෙන්න නම් මේ ෆස්ට් ඉම්ප්‍රෙශන් එක අනිවා වැදගත්. මොකද එක පුද්ගලයෙක් සමඟ පළමු හමුවක් ඔබට ලැබෙන්නෙ ජීවිතේටම එක වරයි. ඒ අවස්ථාවේ ඔබ ගැන ඔවුන් ඇති කරගන්න ආකල්පය ඔබව කොයි තරම් හොඳින් හඳුනාගත්තාට පසුව උනත් මතකයෙන් මැකෙන්නෙ නෑ. නව යොවුන් යුවතියකගේ සිනාව ලේඩි කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ. ඔබ ඔබේ පෞර්ෂය විදහා දැක්වෙන සුහදත්වය පල කෙරෙන සිනහවකින් ඔබේ අමුත්තා පිලිගන්න. අතට අත දෙන්න පැකිලෙන්න එපා.

3. ස්තූතියි සහ කරුණාකර

නරක වචන කියන්න එපා කට පරිස්සම් කරගන්න කියල කලින්ම කිව්වනෙ. ඒ වගේම තමා මෙන්න මේ වචන දෙක හැම විටම පාවිච්චි කරන්න හුරු වෙන්න. ඔබ කුමන තරාතිරමකින් කෙනෙකුගෙන් සේවයක් ලබා ගත්තත් එම සේවය ලබා ගැනීමට කරුණාකර යන වචනය පාවිච්චි කරන්න. සේවය ලබාගත් පසු ස්තූති කරන්න. කුමන සමාජ මට්ටමක, කුමන තලයක හැසිරුනත් ඔබ කුලකතක් ලෙස හැසිරෙනවා නම් මේ වචන වල වැදගත්කම වටහාගන්න.

4. ෆෝන් එකේ රාජකාරි

ෆෝන් එක අතේ අරන් යන එක පුරුද්දට ගිහින් උනත් ලේඩි කෙනෙක් වගේ හැසිරෙන්න නම් ඔය ෆෝන් එක අතේ අරන් ඉයර්ෆෝන් එකේ වයර් ටික ඇඟ වටේ පටලන් නම් හරියන්නෙ නෑ. වයිබ්‍රේෂන් මෝඩ් දාල එහෙමත් නැත්නම් මෘදු රින්ග් ටෝන් එකක් දාගෙන ෆෝන් එක හෑන්ඩ් බෑග් එකට දාගන්න. අවශ්‍යම වෙලාවට විතරක් එළියට ගන්න.ගෙදරදි කොහොම උන්නත් පිට තැනකදි මේ පිලිවෙත අනුගමනය කරන්න. කෝල් එකක් ආන්සර් කරල මහ සද්දෙට කතා කරන්න එපා. පුද්ගලික කරුණක් නම් කෝල් කරපු කෙනාට දැනුම් දෙන්න, ඒ ගැන කතා කරන්න සුදුසු තැනක නෙවෙයි ඔබ ඉන්නෙ කියන එක. බොහෝ දෙනෙක්ට කෝල් එකක් ආව ගමන් උන් හිටි තැනුත් අමතක වෙලා තමන්ගෙ මුළු කතාවම ළඟ ඉන්න මනුස්සයටත් ඇහෙන්නම කියෝනව. මේ ගතිය ලේඩි කෙනෙක්ට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.

5. කෑම බීම ගාණකට

තැනකට ගියාම තියෙන හැමදේකින්ම පුළුවන් තරම් බෙදාගෙන කන්නවත් පාලනයකින් තොරව බොන්නවත් එපා. සමාජශීලී වෙන්න හැකි මට්ටමින් වයින් වීදුරුවක් පානය කරන්න. කුසට සරිලන ප්‍රමාණයක් පමණක් ආහාර බෙදාගන්න. පිඟාන පිරෙන්න බෙදාගෙන කෑම ඉතිරි කරන එක වැදගත් පුරුද්දක් නම් නෙවෙයි. පමණට කන බොන එක ගැන ඔබ ලේඩි කෙනෙක් වෙන්න හිතනව නම් සැලකිලිමත් වෙන්නම වෙනව. ඔබ අකමැති දෙයක් ඔබට පිලිගැන්නුවොත් කාරුණිකව ප්‍රතික්ශේප කරල ස්තූති කරන්න.

6. කැපී පෙනෙන්න අඳින්න, කැපිල යන්න නෙවෙයි

තමන් යන තැන, එතනට එන පිරිස සහ සහභාගි වෙන අවස්ථාව අනුව ඇඳුම් තෝරගන්න එක අනිවා වැදගත්. තැනට සුදුසු ලෙසට අඳින්න නොසිතා අනවශ්‍ය විදියට ඇඟ පසඟ පේන විදියට අඳින එකෙන් නම් කැපී පෙනීම කෙසේ වෙතත් ඔබ කැපිල යන්න තියෙන ඉඩ වැඩියි. තමන්ගේ සිරුරට ගැලපෙන විදියට අවස්ථානුකූලව සහ තම පෞර්ෂය පෙන්වන ආකාරයෙන් අඳින එක තමා ලස්සන. උදාහරණෙකට රජ පවුලෙ කේට් මිඩ්ල්ටන්ව ගන්න. පෞද්ගලික ජීවිතේ කෙසේ සිටියද අළුත් විලාසිතා වලින් සැරසුනද ප්‍රසිද්ධ ස්ථානවල ඇය නොවරදවාම අඳින්නෙ පලඳින්නෙ වැදගත් විදියට. එහෙම වැදගත් සහ තම පෞර්ෂය පෙන්වන ආකාරයෙන් සැරසෙන කාන්තාවන්ට අපේ රටේ අචලා අලස් මහත්මිය සහ රෝසි සේනානායක මහත්මිය හඳුන්වන්න පුළුවන්.

7. ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න

ඔබ ඉඳගන්න ඉරියව්ව ඔබ ගැන බොහෝ දේ කියාපානව. කොන්ද කෙලින් තබාගෙන වාඩි වෙන්න. කකුලක් පිට කකුල දමා ගෙන වාඩි වෙන එක නම් ඔබට හුරු, පැත්තට හැරී කකුලක් පිට කකුලක් දමාගන්න. වාඩි වුන ඉරියව්වෙන්ම කකුල් ඉදිරිපසට හරවා කකුලක් පිට කකුලක් දමා ගැනීම අශෝබනයි.

ඇවිදින විට වට පිට බල බල උරහිස් කඩා වැටී පරාජිත ස්වරූපයෙන් ඇවිදින්න එපා. සෘජුව ඇවිදින්න. මේ කියන්නෙ ඉද්ද ගැහුව වගේ එහෙමත් නැත්නම් කොන්දට පොල්ලක් බැන්දා වගේ ඇවිදින්න කියල නම් නෙවෙයි.

තැනක ඉන්නා විට, කෙනෙකු හා කතා බහ කරනා විට පවා ඔබේ ඉරියව් ගැන සිහියෙන් ඉන්න. හිස කසමින්, නියපොතු කඩමින්, ඇඟිල්ලෙන් බිම හාරමින් කතා කරන එක ලේඩි කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ.

8. පිරිසිදුකම සහ පිළිවෙල

ඇඳුම පැලඳුම පිරිසිදුව තබාගන්න. ඔබේ පිරිසිදුකම රැකගන්න. කෙනෙකුට ඔබව ප්‍රියමනාප වෙන්න නම් ඔබේ පිරිසිදුකම අනිවා වැදගත්ම සාධකයක්. ඒ වගේම ඔබ අවට, ඔබේ නිවස, කාමරය හෝ කාර්යාල මේසය පිරිසිදුව පිළිවෙලට තබාගන්න. පිළිවෙල සහ පිරිසිදුකම ඔබව ලේඩි කෙනෙක් එහෙමත් නැත්නම් කුලකතක් බව පෙන්වන ප්‍රධානම සාධකයක්.

9. මේ දේවලුත් මතක තියාගන්න

කාරුණික වෙන්න – ඔබ මොන තරම් චාරිත්‍රානුකූලව හැසිරුනත් ඔබ කාරුණික නැත්නම් ඒ කිසිම දෙයක ලස්සනක් කිසිම කෙනෙකුට නොපෙනේවි. කරුණාවන්ත වෙන්න. නිහතමානී වෙන්න. කාන්තාවක් සතු ලාලිත්‍ය ඔප්නැංවෙන්න නම් ඇය කාරුණික විය යුතුමයි.

පොරොන්දු ඉටු කරන්න – කෙනෙකුට පොරොන්දුවක් වෙනවා නම් එය ඉටු කරන්න. තමන්ට ඉටු කිරීමට අපහසු පොරොන්දු දීමෙන් වලකින්න.

වෙලාවට වැඩ කරන්න – වෙලාවට වැඩ කරන එක නම් ලංකාවෙ බොහෝ දෙනෙකුට නැති ගතියක්. නමුත් කෙනෙකුට යම් වෙලාවක එන බව පැවසුවොත්, ඔබට කෙනෙකු වෙලාවකට එන්න යැයි පැවසුවොත් අතපසු නොකර ඒ වෙලාවට වැඩ කරන්න.

කෙනෙකුට දොර හැර දෙන්න – ඔබ තැනකට ඇතුල් වෙද්දි තව කෙනෙකු ඔබ පසුපසින්ම එනවා නම් දොර ඇරල අත අරින්න එපා. දොර අනිත් කෙනා ඇතුල් වනතුරු අල්ලන් ඉන්න. මේක මහත්මා ගතියක් කියන ගණයට වැටුනට ඇත්තටම මේක කාරුණික බවේ ලක්ශණයක්.

ඇහුම්කන් දෙන්න – කොයිවෙලෙත් කච බච ගගා කියවන්න එපා. තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න. අවශ්‍ය තැන් වලදී පමණක් කතා කරන්න. කීප දෙනෙක් ඉන්නා තැනක ඔබේ අවස්ථාව ලැබෙන තුරු හිඳ කතා කරන්න.

- aniwa.lk


gossip lanka