වයසට ගියත් තරුණකම රැකගන්න කැමති නම් මේන්න මේ ටිප්ස් ටික ඔයාලටමයි

දවසින් දවස තප්පරෙන් තප්පරේ ගෙවිල යන්නෙ අපිව මහළු වියට ළං කරමින්. මෙලොව බිහිවෙන ඕනෑම සත්වයෙකුට පොදු වූ මේ වයසට යෑම එහෙමත් නැත්නම් මහළු වීම වලක්වාලිය නොහැකි වුනත් යම් තරමකින් පාලනය කරගන්න බැරි කමක් නෑ. සෞඛ්‍ය සම්පන්න නිරෝගී සිරුරක් පවත්වා ගැනීමෙනුත් තරුණ පෙණුම රැක ගැනීමෙනුත් මහළු
වීමට පුංචි අභියෝගයක් එල්ල කරන්න ඔබට හැකියාවක් තියෙනව. අපි අද මේ කතා කරන්න යන්නෙ එහෙම නිරෝගී බව රැකගන්න සහ තරුණ පෙනුම රඳවාගන්න ඔබට කල හැකි දේවල් ගැනයි.

1. වයසට යනව කියන්නෙ මොකක්ද?

තරුණ විය ඉක්මවූවට පස්සෙ වයසට එකතු වෙන අවුරුදු ගාණෙන් කෙනෙක් වයසට යනව කියල බැලූ බැල්මට කියන්න පුළුවන් උනත් වයසට යනව කියන්නෙ ඇත්තටම එකතු වෙන අවුරුදු ගාණම නෙවෙයි. ශරීර ශක්තිය පිරිහීම, බෙහෙත් හේත් මත යැපෙන්නට වීම, ක්‍රියාශීලී බව අඩු වීම, මතකය ගිලිහීම සහ හම රැලි වැටී මහළු පෙනුමක් එක් වීම වයසට යෑම කියල අරුත් දක්වන්න පුළුවන්. චුට්ටක් හිතල බැලුවොත් වයසට නොගිහිනුත් මේ ලක්ෂණ තියෙන අය අපේ අවට ඕන තරම් ඉන්නව. ඒකට හේතුව තමන් ගැන තියෙන නොසැලකිලිමත්කම. වයසට යන එක වළක්වාගෙන හැමදාමත් තරුණබව රැකගන්න නම් පළමුවෙන්ම තමන්ට ආදරය කරන්න ඉගෙන ගන්න.

2. ආකල්පමය වෙනස

තමන්ටම ආදරය කරන්න ඉගෙන ගන්න කියල කිවානෙ. ඒ වගේම ” මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ” වගේ ආකල්පයක් දරාගෙන නම් මේ දේ කරන්න බෑ. ඇත්තටම මේ ආකල්පමය වෙනස පුරුෂ පක්ශයට වඩා වෙන්න ඕන කාන්තා පාර්ශවයෙන්. විවාපත් වෙලා දරු මල්ලො ලැබුනට පස්සෙ “දැන් ඉතින් මම වයසයි” කියල හිතාගෙන ඉන්න තරුණ වයසෙ කාන්තාවන් ඕන තරම්. වයස අවුරුදු 30ක් උන හැටියෙ තමන් වයසට ගිහින් කියල පිළිඅරන් ඉන්න එක ආසියාකරයේ බහුතර ගෘහණියන්ගේ ලක්ෂණයක්. මෙන්න මේ ආකල්පය වෙනස් කරන් වයසට ගියත් නිරෝගීකම තරුණ පෙනුම රැකගෙන ඉන්න ඕන කියන සුභවාදී ආකල්පය මුලින්ම හිතට ගන්න ඕන. මහළු වයසෙදි තරුණ පෙනුම රැකගන්න උත්සහය පටන් ගන්න ඕන තරුණ වයසින්මයි.

3. ශාරීරික ව්‍යායාම

තරුණකම රැකගන්න ඔබ තබනා පියවර වලින් පළමුවැන්න නිරෝගීකම රැකගන්න එක. නිරෝගීකම රැකගැනීමේදී කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න කලින්ම හිතන්න ඕන ප්‍රධානම දේ ව්‍යායාම. ව්‍යායාම කරන්න ජිම් එකකටම යන්න ඕන නැහැ. ඕනම කෙනෙක්ට පහසුවෙන් සරලවම කරන්න පුළුවන් ව්‍යායාමයක් තමයි ඇවිදින එක හෝ දුවන එක. දවසේ තෝරාගත් වේලාවක් දුවන්න හෝ ඇවිදින්න යොදාගන්න. ඒ වගේම පිහිනීම සහ බයිසිකල් පැදීමත් සරලවම ඔබට ලබාගන්න පුළුවන් ව්‍යායාම. මේ මඟින් හදවතේ නිරෝගීකම පවත්වාගන්න ඔබට උදව්වක් ලැබෙනව.
මීට අමතරව යෝගා ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන් නම් නම්‍යශීලී බවත් මාංශ පේශීන් වල එල්ලා වැටීම වළක්වා ශක්තිමත් සිරුරකට උරුමකම් කියන්නත් ඔබට හැකියාව ලැබෙනව. යෝගා ව්‍යායාම් ශරීරයට වගේම මනසටත් වඩාත් සුදුසු ව්‍යායම් ක්‍රමයක් බව කවුරුත් දන්නා කරුණක්.
මාස හයකට වතාවක්වත් රුධිර පරීක්ෂාවක් කරගන්න. රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ට්‍රෝල් මට්ටම ගැන අවබෝධයෙන් සිටීමත් ඉතාම වැදගත්.
මුඛ සෞඛ්‍ය රැකගැනීමට මාස තුනකට වතාවක්වත් ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවන්න.
වයසගත වීමේදී සිරුරේ ඇති වන හෝමෝන වෙනස්කම් සහ විටමින් සහ ඛණිජ ලවණ ඌණතා පිළිබඳව දැනුවත් වීමට සයමසකට වරක් ඔබේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.

4. මානසික තත්ත්වය

අර මුලින් කියපු ආකල්පමය වෙනසත් මේ මානසික තත්ත්වයට අදාලයි. තමන් පිළිබඳවම තියෙන සුභවාදී ආකල්පය අනිවාර්යෙන්ම රැකගත යුතුයි. මට බැහැ, මට අපහසුයි වගේ පසුගාමී සිතුවිලි වලින් වැළකී ධනාත්මකව සිටීම ඔබේ තරුණකම රැකගන්න ලොකු පිටුවහලක්.
වයස්ගත වීමේදී එන ප්‍රධාන ගැටළුවක් තමයි මතකය අඩු වීම. මේකට හේතුවක් විදියට දක්වන්න පුළුවන් වයසට යාමත් එක්ක ඔබේ මානසික ක්‍රියාකාරකම් අඩු වීම. මානසික ව්‍යායාමයක් ලෙස පොත පත කියවීමට හුරු වෙන්න. ප්‍රහේලිකා පිරවීම වගේ මනස ක්‍රියාත්මකව, අවදිව තබා ගන්න ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.
වයස්ගත වීම ගැන කතා කරද්දි මුලින්ම හිතට එන දෙයක් තමයි විශ්‍රාමික දිවිය. තරුණ කාලෙ වගේ රැකියාවක නිරත වීමට තියෙන හැකියාව වයසට යෑමත් එක්කම ගිලිහෙනව. විශ්‍රාමික දිවියේ එන පළවෙනි ප්‍රශ්නය වෙන මූල්‍යමය තත්ත්වය රැකගන්න එක ගැන අපි මීට කලින් දීර්ඝ ලෙස කතා කරා. මේ විදියෙ ප්ලෑන් එකක් තියාගන්නෙ එක ඔබේ මානසික මට්ටම ඉහල නංවා ගන්න අනිවාර්යෙන්ම රුකුලක්.

5. තරුණ පෙනුම රැකගන්න

ව්‍යායාම වගේම තරුණ පෙනුම රැකගන්න අනිවාර්යෙන්ම බාහිර රූපය ගැනත් අවධානය යොමු කරන්නම ඕන. ගැහැණු පිරිමි බේදයකින් තොරව තමන්ගෙ පෙනුම රැකගන්න ගෙදරදීම කරන්න පුළුවන් පුංචි පුංචි රූපලාවන්‍ය සත්කාර ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්.
සම වියලීම වලක්වා ගන්න අනිවාර්යෙන්ම මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. මීට අමතරව දවසකට ප්‍රමාණවත් පරිදි වතුර බොන එකත් සමේ තෙතමනය ආරක්ෂා වීමට වැදගත්. වයස්ගත වීමත් එක්ක සිදු වෙන සම රැලි වැටීම සහ එල්ලා වැටීම වලක්වාගන්න සමේ තෙතමනය රැකගන්නම ඕන. අවුරුදු 30 පැන්නට පස්සෙ තරුණ පෙනුම රැකගන්න ගෙදරදීම ඔබට කරන්න පුළුවන් සත්කාර ගැන අපි මීට කලින් ලිපියක කතා කලා.

6. ආහාරයට එක් කරගත යුතු දේ

සෞඛ්‍යට වගේම පෙනුමටත් අනිවාර්යයෙන්ම බලපාන මූලික සාධකයක් ආහාර පාන. තරුණ පෙනුම සහ නිරෝගී පැවැත්මට ඔබ ලබා ගත යුතු ආහාර පාන වර්ග තියෙනව. වෛද්‍ය මතයට අනුව නම් ඔබ ඔබේ සෞඛ්‍ය සහ තරුණ පෙනුම ගැන හිතලා ආහාර පාන සැළකිල්ලෙන් ගන්න එක පටන් ගන්න ඕන තරුණ වයසේදීමයි. විටමින් සහ ඛණිජ පෙති වශයෙන් බාහිරින් ලබාගන්නවට වඩා ආහාර වලින්ම ශරීරයට ලබාගන්න උත්සහ කරන එක වඩාත් සුදුසු නිසාම වයස්ගත වෙන ශරීරයට වඩාත් සරිලන ආහාර වර්ග මෙන්න මේවායි.


  • අලි ගැට පේර – සමට සහ හිස කෙස් වලට අවශ්‍ය විටමින් ඊ ශරීරයට ලබාගන්න තියෙන හොඳම සහ පහසුම ක්‍රමයක් තමයි අලි ගැට පේර ඔබේ දිනපතා ආහාර වේල් අතරට එක් කරගන්න එක.
  • ගස්ලබු – ගස්ලබු ආහාරයට එක් කර ගැනීමෙන් ශරීරයේ ඇන්ටිඔක්සිඩන්ට් ක්‍රියකාරිත්වය ඉහල නංවනව. එමඟින් වයස් ගත පෙනුම ඔබට ලඟාවීම පමා කරවනව.
  • පිපිඤ්ඤා – සමේ තෙතමනය ආරක්ෂා කරගන්න ඔබ ආහාරයට එක් කරගත යුතුම දෙයක් පිපිඤ්ඤා කියන්නෙ.
  • බීට් රූට් – මැග්නීසියම්, සින්ක්, යකඩ සහ කැල්සියම් අඩංගු එළවළුවක්. වයසට යාම පමා කරවන්න බීට් රූට් වඩාත් ගුණදායක එළවළුවක්.
  • නිවිති – යකඩ බහුල ආහාරයක් කියල හැමෝම දන්නවනෙ. මීට අමතරව සම සහ අස්ථි වල ශක්තියට අවශ්‍ය විටමින් ඒ, බී, සී, ඩී සහ කේ නිවිති වල අඩංගුයි.
  • දෙහි හෝ ලෙමන් වතුර – දෙහි හෝ ලෙමන් දැමූ මද රස්නය ඇති වතුර එකක් උදෑසනම පානය කිරීම ශරීරයේ පීඑච් අගය සමබර කරගැනීමට උපකාර වෙනව.
  • ඔමෙගා 3 අඩංගු මාළු – සැමන් සහ ටූනා වැනි ඔමෙගා 3 මේදය අඩංගු මාළු වර්ග වැඩියෙන් ආහාරයට එකතු කරගන්න.
  • තක්කලි – තක්කලි බීටා කැරොටීන් වලින් පොහොසත්. හිරු කිරණ වල ඇති UV කිරණ වලින් සමට වෙන හානිය යම්තාක් දුරකට සමනය කරන්න මේ කැරොටීන් ගුණය උපකාර වෙනව.
  • ඔලිව් තෙල් – විටමින් ඊ අඩංගු ඔලිව් තෙල් සමේ තරුණ බව රැකගන්න වඩාත් ඉවහල් වෙනව.
  • බතල – බීටා කැරොටීන් සහ විටමින් ඒ අඩංගු බතල සමේ නිරෝගී පෙනුම රැකගන්න වඩාත් සුදුසුයි.


මතක තියාගන්නම ඕන කාරණය තමයි මේ ආහාර වර්ග තරුණ පෙනුම රැකගන්න ඉවහල් උනාට එකිනෙකාට තියෙන සෞඛ්‍ය ගැටළු එකිනෙකට වෙනස් නිසා ඒ ඒ දේවල් වලට නුසුදුසු ආහාර වර්ග භාවිතයට නොගෙන ඉන්න එක.

7. සමාජ ජීවිතය

සමාජශීලීබව සහ ක්‍රියාශීලීබව ඔබේ තරුණකම රැකගන්න බෙහෙවින්ම උපකාර වෙනව. ඔබ ප්‍රියකරන විනෝදාංශයක සමාන ප්‍රියතාවය ඇති පිරිසක් සමඟ නියැලීම, ක්‍රීඩා සමාජයක සාමාජිකත්වය ලබාගැනීම, ගෙදරට වෙලා තනියම පොතක් පත්තරයක් බලන් ඉන්නෙ නැතුව පුස්තකාල සාමාජිකත්වයක් ලබා ගැනීම, සුභවාදී ආකල්ප ඇති පිරිසක් ඇසුරු කිරීම අනිවාර්යෙන්ම ඔබේ තරුණකම රැකගන්න ඔබට පිටුවහලක්.

දිනපතා ව්‍යායාමයක් ලෙස ඇවිදින කෙනෙක්ට පුළුවන් ඒ වේලාවට ඇවිදින්න එන පිරිසක් සමඟ මිතුරුදමක් ඇති කරගන්න. වයස්ගත වීමත් සමඟ හුදෙකලා වීමට ප්‍රියවීම ඔබව ඉක්මනින්ම වයසට වඩා වයස්ගත කරවීමට බලපානව. සුහද කතා බහක නිරත වීම ඔබේ මානසික සෞඛ්‍ය රැකගැනීමට මහත් රුකුලක්.

- aniwa.lk
gossip lanka